කැලේ පිපෙන මල්...

මම අද ලියන්නේ හුඟ දවසකින්. මේ ලිපිය ලියන්න නම් මම ගොඩක් කල් ඉඳල බලන් හිටියා. මගේ බ්ලොග් අඩවිය කියවන අය දන්නවා මම ඉන්නේ අම්පාරේ කියල. මම මාස කීපයකට කලින් ගියා මෙහේ ඉන්න මගේ යාළුවෙකුගේ ගෙදර, ලස්සන පරිසරය ඒත් ටිකක් විතර දුරයි. එක පැත්තකින් ගමේ පාර, අනිත් පැතිවලින් කුඹුරු ගේ දෙපැත්තෙන්ම ගල්තලා දෙකක්. ගෙදර ගියාම හිතට පුදුම නිදහසක් තමා දැනෙන්නේ.

ඒ යාලුවගේ පවුලේ ඔක්කොම නව දෙනයි. මගේ යාළුවයි එයාගේ අම්මයි තාත්තයි, අක්කලා තුන්දෙනයි මල්ලියි නංගියි. නියම කලාව පිරුණු පවුලක්. හැමදෙනාගෙම හිත්වල වගේම වැඩවලත් කලාව තැවරිලා තියෙනවා. තාත්තා රැකියාව විදිහට කරන්නේ ගොවිතැන. මම කතාව කියන්නේ නම් මේ මල්ලියි අයියයි ගැන. දෙදෙනාම එකැසක් අබාධිතයන්. ඒ වුනත් කිසිවෙකුටත් කරදරයක් නැතිව ජීවත් වෙනවා. අයියාගේ ඇසක් ඇත්තේම නැහැ, මල්ලිගේ ඇස වර්ධනය වෙලා නැහැ. අයියා නම් දැන් විවාහකයෙක්. පුංචි කොලු පැටියෙකුගේ තාත්ත කෙනෙක්. මල්ලි උසස් පෙළ ලියනවා. ආර්ථික අපහසුතා වාගේම ප්‍රදේශයේ තිබෙන පොදු පහසුකම් අඩුකමෙනුත් මොවුන් පීඩා විඳිනවා. මේ නිවස ඇතුළුව තවත් පවුල් 10ක පමන පිරිසකට නිවෙස් වල ඉඳන් මීටර 300ක් 400ක් පමණ දුරකින් විදුලි රැහැන් තිබුනත් විදුලිය ලබා දීමට පාලකයන් උත්සුක නොවීම නම් කණගාටුවට කරුණක්. කීප වතාවත්ම කල ඉල්ලීම් වලින් මොවුන් හෙම්බත් වෙලයි තියෙන්නේ. 

 අයියා දක්‍ෂ ලෙස කැටයම් කපන්න වාගේම විදුලි කාර්මික වැඩ, වඩුවැඩ, ගොවිතැනටත් දක්‍ෂෙයක්. ඔහුගේ නිර්මාණ කීපයක් තමා මේ තියෙන්නේ.


මල්ලිත් මේ වාගේම දක්‍ෂෙයක්. එයාට හොඳින් චිත්‍ර ඇඳීමේ හැකියාවක් තියෙනවා. පාසලේසීත් හොඳ චිත්‍ර ශිල්පියෙක් විදිහට කැපීපෙනෙන දක්‍ෂතා පෙන්නලා තියෙනවා. චිත්‍ර තරඟ වලින් ජයගත් ඔහු තවමත් හරියාකාරයෙන් අගයීමකට ලක්වී නැහැ. මේ වනවිට ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශණයක් පැවැත්වීමට බලාපොරොත්තුවන ඔහු උසස් පෙළ විභාගය අවසානයේ වෘත්තීමය ලෙස චිත්‍ර ශිල්පියෙක් ලෙස කටයුතු කිරීමේ බලාපොරොත්තුවෙන් වෙනත් ප්‍රෙද්ශයකට යාමේ බලාපොරොත්තුවෙනුයි ඉන්නේ. තමන්ගේ නිර්මාණ රටට පෙන්වන්න බැරිකමෙන් ඉන්න මේ වාගේ අයට උදව් කරන්න පුළුවන්නම් සෑහෙන්න වටීවි. නිර්මාණ කරන්න හැකියාව තිබුනත් ඒකෙන් ප්‍රයෝජන ගන්න තවමත් ඔහුට අවස්ථාව ලැබිලා නැහැ. ඉගෙනීම දිගටම කරන්නවත් ඔහුගේ ආර්ථික තත්ත්වය මඳකම නිසා සියලු දේ අත්හැරල වෘත්තියමය ලෙස තමන්ගේ චිත්‍ර ඇඳීම කරන්නයි ඔහුගේ සූදානම. මේ තියෙන්නේ ඔහුගේ නිර්මාණ කීපයක්.












මේ වාගේම හැකියාවන්ගෙන් පිරුනු ගොඩක් දෙනා නොයෙක් පළාත්වල ඇති. මේ අයට උදව් කරන්න හැකියාවක් මට තිබුනානම් කියල හිතෙනවා. කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා වම් උදව් කරන්න කියලයි මේ ඉල්ලීම. ඒ වාගේම මේ ලිපිය මේ වාගේම හැංගුන දක්‍ෂතා ඇත්තන් ගොඩක් හඳුන්වා දෙන්න පුළුවන් වෙන ලිපි පෙලක ආරම්භයක් වේවා කියලයි මගේ නම් ප්‍රාර්ථනාව.