මගේ ගමන් බිමන් වල හතලිස් හත් වන කොටස - යුධගනාව


ඌව පලාතේ බුත්තල ප්‍රාදේශිකයට අයිතිවෙන යුධගනාව තමා මගේ තවත් ගමනක නිරීක්‍ෂණය වුනේ. වැල්ලවාය මොණරාගල මාර්ගයේ වැල්ලවායේ ඉඳන් කිලෝ මීටර 16ක් විතර ගියාම යුධගනාව හංදිය හම්බවෙනවා. එතැන පරිසර අමාත්‍යංශයෙන් දාපු නාම පුවරුවක් දකින්න පුළුවන්. එත්න ඉඳන් කිලෝමීටර එකහමාරක් විතර ගියාම මේ කියන යුධගනාව නටඹුන් ප්‍රදේශයට එන්න පුළුවන්. යුධගනාව නටඹුන් විදිහට අපට යුධගනා විහාරය, යුධගනාව චෛත්‍යය හා චුලාංගනී විහාර සංකීර්ණය දකින්න පුළුවන්.
කිස්තු පූර්ව දෙවන සියවසේදී දුටුගැමුණු කුමරු හා සද්ධාතිස්ස කුමරු අතර සටන් සිදුවූ තැන විදිහට මෙතැන ගැන කියවෙනවා. ඒ පිලිබඳ සාක්‍ෂ ඔවාගිරිය හෙවත් සංඝයා විසින් යුද්ධ නොකරන්න යැයි ඔවදන් දුන් ස්ථානය ගැන කලින් ලිපියක කතාවෙනවා මතක ඇති. එමෙන්ම දොලොස්වන සියවසේදී රජකල මහා පරාක්‍රමබාහු රජ සිය මෑණියන් වන රත්නාවලී බිසවගේ භෂ්මාවශේෂ තැන්පත් කරමින් කරවූ චෛත්‍යය ලෙසටත් මතයක් පවතිනවා. අඩි 1038ක විතර වට ප්‍රමාණයක් තියෙන මේ චෛත්‍යය ඌව පලාතේ තියෙන
විශාලතම චෛත්‍යය විදිහට හඳුනාගන්න පුළුවන්. ඒ වාගේම දාගැබ ලඟම තියෙන විහාරගෙය නුවර යුගයේ සම්ප්‍රදායට නිර්මාණය කල එකක්. මේ චෛත්‍යය කිංකිනි වෙහෙර විදිහටත් ව්‍යවහාරයේ පවතිනවා.
කොටවෙහෙර ආකෘතිය ඒ කියන්නේ පේසා වලලු වලට ඉහලින් කොටස සමතලා කරල ඒ මැද කුඩා දාගැබක් නිර්මාණය කිරීම කියන ක්‍රමයට තමා මේ චෛත්‍යය නිර්මාණය කරලා තියෙන්නේ. දැදිගම සුතිඝර චෛත්‍යය, පොලොන්නරුවේ දෙමළ මහා සෑය හා යුධගනාව චෛත්‍යය කියන චෛත්‍ය තුනම එකම ආකෘතියේ තියෙන විහාර විදිහට හඳුනාගන්න පුළුවන්. ඒ නිසාවෙන්ම ඒ සියල්ල එකම යුගයකට අයත් යැයිද විශවාසයක් පවතිනවා. කොහොම වුනත් තාමත් යුධගනාව චෛත්‍යයේ කාලය නම් නිර්ණය කරලා නැහැ. අවට ප්‍රදේශයේ කැනීම් කටයුතුත් තාම ඉවර කරලා නැහැ.
ඒ චෛතයේ ඉඳන් මීටර 100ක පමණ දුරින් ඇති චූලාංගනී විහාර සංකීර්ණයත් අපට දකින්න පුළුවන්. එහි දාගැබ, ටැම්පිටි විහාරය, බෝධිඝරය හා පිලිම ගෙය කියන කොටස් දකින්න පුළුවන්. දාගැබ හදලා තියෙන්නේ පදක්‍ෂිනා පථයක්ද එක්ක. ඒ වාගේම පිළිමගෙය තුල විනාශ වෙලා ගියපු පිලිම කීපයක්ද දකින්න පුළුවන්. ඒ කාලයේ කල ශෛලමය නිර්මාණ වල නටඹුන්ද අපට එතැනදී දකින්න පුළුවන්. විහාර සංකීර්ණය 12 සියවසට අයත්යැයි සැලකුනද තිබෙන්නා වූ පිළිම කිස්තු පූර්ව 6-7 සියව්ස් වලට අයත්යැයි සැලකෙනවා.


No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!