මගේ ගමන් බිමන් පනස්වෙනි කොටස - ගැටබරු පන්සල

අකුරැස්ස දෙනියාය මාර්ගයේ හමුවන කොටපොල ප්‍රදේශයේදී හමුවන පන්සලක් විදිහට මේ කියන ගැටබරු පන්සල හඳුන්වන්න පුළුවන්. නමුත් මේ පන්සල වඩා ප්‍රසිද්ධියක් උසුලන්නේ ගැටබරු දේවාලය නිසාවෙනි. බාරහාර ඔප්පු කරන්න, සාප කිරීම් ආදිය සඳහා පැමිණෙන පිරිස්ද බොහෝමයක් වෙනවා. විශ්වාසයන්ට අනුව ගැටබරු දෙවියන් යනු කතරගම දෙවියන්ගේ අඳුරු පැත්ත හෙවත් නපුරු පැත්ත ලෙසත් සැලකිල්ලක් තියෙනවා.
ප්‍රධාන මාර්ගයේ ඉඳන් කිලෝමීටර එකහමාරක් විතර කන්ද උඩට නගින්න ඒන මේ කියන පන්සල ලඟට යන්න නම්. මුහුදු මට්ටමෙන් අඩි 1500ක් විතර උස තැනක තමා පන්සල තියෙන්නේ. ඒ නිසාවෙන් කාලයක් තිස්සේ මෙතැන සැඟවුන තැනක් එහෙමත් නැතිනම් මිනිසුන්ගේ වන්දනාමානයට ලක් නොවුන තැනක් විදිහට තිබිලා තියෙනවා. පසු කාලීනව පාර හදලා පන්සල ලඟටම යන්න පුළුවන් විදිහට. දැන් නම් පන්සල ලඟ වාහන නවත්තන තැන් කීපයක්ම තියෙනවා. කන්ද ඉහලදී ලෙන් විහාරයත් තවත් පඩි කීපයක් ඉහල හෙවත් කඳු මුදුනේදී චෛත්‍යයත් දකින්න පුළුවන්.
හුලන්දාව ප්‍රදේශයේ ඉන්න මගේ මිතුරන් කීප දෙනෙක් එක්ක මමත් ගැටබරු විහාරය බලන්න ගියා. අපි බයිසාකල් වලින් එන්න පුළුවන් උපරිම තැනට ලඟා වෙද්දී පහල තිබුන දේශගුණය වෙනස් වුන බව හොඳින්ම තේරුම් ගියා. එන්න තියෙන මාර්ගය නම් සීඝ්‍ර බෑවුම් එක්ක වංගු සහිත මාර්ගයක්. බයිසිකලයෙන් වුනත් ඒ මාර්ගයේ යන එක ටිකක් විතර අවධානම්. කොහොම වුනත් එතැනින් ඉහලට යන ඉතිරිය නම් පඩිපෙල නැගීමක්ම තමා. ලෙන් විහාරයට යන අතර තුර වැඩ සිටින මාලිගාව දකින්න පුළුවන්. තවත් ඉහලට යද්දී අපට ලෙන් විහාරය දකින්න පුළුවන්. ඒක ඇතුලේ කෙලවරක රජ්ජුරු බණ්ඩාර දෙවියන් වෙනුවෙන් දේවාලයකුත් අනිත් කෙලවරේ විශ්ණු කතරගම දෙවියන් වෙනුවෙන් දේවාලයකුත් හදලා පූජා පවත්වනවා. ඒ එක්කම රියන් 18ක් විතර දිග සැතපෙන බුදු පිලිමයකුත් එහි හිස අසල සැරියුත් තෙරුණුවෝත් පා අසල මුගලන් තෙරුණුවෝත් නිර්මාණය කරලා තියෙනවා. මේ ලෙණ අඩි 30ක විතර දිගක් තියෙන එකක්. තවත් පඩි කීපයක් නැංගාම අපිට කඳු මුදුන හෙවත් චෛතයය පිහිටි තැනට යන්න පුළුවන්.









ජනකතා වලට අනුව අනුරාධපුරයේ රජකල වලගම්බා රජුගේ සමයේදී සිදුකල නිර්මාණයක් විදිහට සැලකෙන ගැටබරු විහාරය රජ්ජුරු බණ්ඩාර දෙවියන් වෙනුවෙන් නිමවූවක්. ඒ විතරක්ම නෙවෙයි රුහුණු හා මායා රට අතර වලගම්බා රජු සැඟව සිටිමින් රට එක්සේසත් කිරීමට වෑයම් කරන සමයේදී ඔහුට ආරක්‍ෂාව සැපයීමත් මේ ප්‍රදේශයේදී සිදුවිය. ගැටබරු විහාරයේ සොයාගැනීම සිදුවීම ක්‍රිස්තුවර්ෂ 1834 දී සිදුවිය. කොටපොල ප්‍රදේශයේ ජීවත් වූ එලියසාමි නම් පුද්ගලයකු විසින් දඩයම සඳහා ගැටබරු කන්ද නගින ලද බවත් එහිදි දඩයම ලෙස මුවකු දඩයම් කර එන අතර තුර ලෙණ තුල වූ 18 රියන් සැතපෙන පිලිමය දැක බියවී දඩයමද එහි දමා ගමට දිව ආ බව කියැවේ. එහිදී ආරංචිය රැගත් මොරවක කැටගොඩ නම් පුද්ගලයාගේ මෙහෙයවීම යටතේ ගම්වැසියන් එක්ව එය පිරිසිදු කර සකස් කරන ලදී. එම අවුරුද්දේදීම වීරසිංහකන්දේ සුමංගල හිමියන් ගම්වැසියන්ගේ ආරාධනයෙන් පන්සල භාරගත් බව කියවේ. අනුරාධපුර යුගයේ බිතුසිතුවමින් අලංකෘත වූ ලෙන කටාරම් කෙටු ලෙණකි.
කන්ද ඉහල ඇති සෞම්‍ය කාලගුණය හා නිදහස නිසාවෙන් කන්ද තරණය කල මහන්සිය නම් නැතිවෙලා යනවා. කොහොම වුනත් බලගතු හාස්කම් හා විශ්වාසයන් හා පුද පූජා සාර්ථක වීම් ඇතැයි යන කටකතා නිසාවෙන් මෙය ඉතා පුකට තැනක් වෙලා වාගේම දකුණු ප්‍රදේශයේ කතරගම පෙරහැර උත්සවයට පමණක් දෙවැනිවූ උත්සවයක් මෙහිද සිදුකෙරෙන නිසාවෙන් ගැටබරු උත්සව සමය ඉතා විශේෂිත තැනක් ගන්නවා වාගේම ඉතා විශාල සෙනඟක් මේ ප්‍රදේශයට එන කාලයක් වෙනවා.

අනිත් පින්තූර බලන්න.....

ගමන් බිමන් වල හතලිස් නමවන කොටස......