මඩකලපුවේ මිනිත්තු කීපයක්.....

ලඟදී මට හදිසියේම මඩකලපුවේ යන්න වුනා. ඒ ඇයි කියන එකට වඩා එතැනදී අත්වින්ද දේවල් වැදගත් නිසා කියන්න හිතුනා. මම ගියේ මඩකළපුවේ ඇති දැනට ක්‍රියාකාරී බෞද්ධ ස්ථානයක් වුන ශ්‍රී මංගලාරාම විහාරස්ථානයට. ඒ එහි ස්වාමීන් වහන්සේට ඇතිවුන ගැටලුවක් සම්බන්ධව මගේ මිතුරෙකුට ලැබුණු ඇමතුමකට ප්‍රතිචාරය විදිහට. මුලින්ම කියන්නම් මේ පන්සල ගැන.
මංගලාරාම විහාරය හදල තියෙන්නේ 1922දී විතර. දකුණේ නිර්මාණ සම්ප්‍රදාය තියෙන මේ විහාරස්ථානය 80 දශකයේදී කොටි ත්‍රස්තවාදය නිසා විනාශයට පත්වෙලා තියෙනවා. ඒ විතරක් නොවෙයි බෝධීන් වහන්සේ පවා විනාශ කරල දාල. තිස්වසරක යුද්ධය අවසන් වෙලා වුනත් තාමත් මඩකලපුවේ කිසිඳු තැනක බුදු පිළිමයක් තියන්නවත් බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. උසාවියේ නඩු ගණනාවක් තිබුණත් නීතිය පවා බුදුදහමට පිටුපාමින් නියෝගයක් දීල තියෙන්නේ බුදු පිළිම තැබීම තහනම් කරමින්. කෙසේ වෙතත් මේ වන විට මංගලාරාමයේ විහාරාධිපති විදිහට වැඩ වාසය කරන අම්පිටියේ සුමනරතන ස්වාමීන් වහන්සේගේ දැඩි උත්සාහය නිසාම මේ විහාරය අද පිළිසකර කරමින් තියෙනවා. නමුත් පන්සල අවට කිසිඳු සිංහලයෙක් නැති නිසාවෙන් ගොඩක් අසීරුවෙන් තමයි පන්සල පවත්වාගෙන යන්නේ. අද පිටරැටියන්ගේ ආධාර වලින් තමයි විහාරය සංවර්ධනය වෙන්නේ. මඩකලපුව අවට තියෙන පුරා විද්‍යා ස්ථාන පවා රැකගෙන ඉන්නේ හමුදාවේ උදව් වලින් නැතිනම් ඒ ස්ථාන පවා විනාශ කරල. මෙි විදිහට විනාශ කරන්නේ අපේ උරුමය කියල නොදැනෙන තරම් පිරිසක් තමයි ඉහල තැන්වල ඉන්නේ.

  
ඒ අතරේ තවත් දෙයක් දකින්න පුළුවන්කම ලැබුණා. මම කලින් මගේ ගමන් බිමන් ලිපියකින් විස්තර කල පුළුකුණාව නටඹුන් අතරේ තිබුණ ලංකාවේ විශාලම ආසනගරය ඔයාලට මතක ඇති. එම නටඹුන් අතරම ලැබුණු තවත් ආසනගරයක් ඒ වෙද්දිත් මඩකලපුවට ගෙනිහින් තිබුණා. ඒ මඩකලපුවේ කොටුව ඇතුලේ දේවාලයකට. නමුත් අද ඒ දේවාලය පුරා ටයිල් අල්ලලා. ඒ නිසා ගල් ආසනය එතැනින් එලියටත්, පස්සේ කොටුවෙන් එලියේ නුගගහක් යටටත් විසිකරල දාල. ඒ විතරක් නොවෙයි එය දැන් හරි මැදින් පුපුරාගිහින්. අද එතැන තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයය. මේ විදිහට ඒ දේවල් විනාස වෙන්න දාල තියෙන්නේ මොන බලවේගයක් විසින්ද කියන දේ නම් ගැටළුවක්. මේ තියෙන මඩකලපුවේ ස්ථාන බලන්න විශේෂිතව නොගියත් මට ලැබුණු පුංචි වෙලාවේදී මඩකලපුවේ බෞද්ධයාට හා අපේ ඉතිහාසයට දීපු තැන ගැන නම් බොහෝම කණගාටුවෙනවා.


කොහොම වුනත් අපේ සිංහල අයගේ වැරදි නිසාවෙන් විනාස වෙන අපේම හෙළ ඉතිහාසය, රාවණ ඉතිහාසය හෝ වෙනයම් ඉතිහාසයක් සත්‍යයයි කියා පෙන්වන්න හදන අයටවත් පේන්නේ නැති බව නම් සැබෑවක්. අවුරුදු 6500කට වඩා පැරණි ඉතිහාසයක් එක වරම හොයන්න දඟලන්නේ නැතිව ඊට කලින් තිබූ ඉතිහාසයේවත් කරුණු තව දුරටත් විනාශ වෙන්න නොදී රැකගෙන හිටියානම් හොඳයි නේද? ලංකාවේ බලධාරීන් හා බෞද්ධයාගේ අවශ්‍යතා වෙනුවෙන් කතා කරන අයට මේ දේවල් වෙනුවෙන් මොනවත් කරන්න බැරිද කියන එකත් ගැටළුවක්. වෙන ඕනම ආගමක අය ඒ අයගේ ආගමික ස්ථාන රැකගැනීම වෙනුවෙන් ජීවිත වුනත් දෙන්න සූදානම් වෙද්දී බෞද්ධයාම ඒ දේවල් විනාශ කරන්න අනුබල දෙන්නේ වැලලුණු ඉතිහාසය යලි පණ නැගීමෙන් ඔවුනට අවාසියක් වේවි යැයි සිතමින්ද එසේත් නැතිනම් අතීතයේ වැළලුනු දේ අපේ ඓතිහාසික දේ විකිණීමෙන් ලැබිය හැකි ලාභය ගැන සිතීමෙන් දැයි යන කරුණ තව දුරටත් සිතා බැලිය යුතුය. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේදී අපෙන් සොරාගත් පෞරාණික දෑ ඩොලර් මිලියන ගනන් වලින් වෙන්දේසි වෙද්දී අපි තවමත් අපේ මුතුන්මිත්තන්ව කුණුකොල්ලයට පිටරැටියාට විකුණනනු ලබන්නේය. ඉන් දුක්ඛිතම කාරණාව වන්නේ මෙයයි. අද අපේ මුතුන්මිත්තන් විකුණන ඔබ, හෙට ඒ දේවල් අවසන් වෙද්දී දෙමාපියන් පවා කුණුකොල්ලයට විකුණනු ඇත. ඒ දවස තව ගොඩක් ඈතක නම් නෙවෙයි. හෙළ සිරිත් විරිත් සාරධර්ම වෙනුවෙන් සෑම රටක්ම ගරු කරන අපේ රටේම මේ දේවල් පවා සිදුවීම ඉතා කණගාටුදායකය.

මඩකලපුවේ ගතකල මිනිත්තු කීපය මට ඉතිරි කල මතකය හා හැඟීම තමා ඔය පුළුවන් නම් මේ දේවල් හොයා බලල පුළුවන් විදිහට ඒ දේවල් රකින්න කියලයි කියන්න තියෙන්නේ.
***********************

රට කරවන්ට නම්!
රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේ
වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර අතේ
ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ

දළදා මැදුර අධිකව මිල කල හැකිය
සිරිමා බෝධියේ ලංසුව පැහැදිලිය
කලුගල් වලට විකුනාගෙන සීගිරිය
සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය

රට කරවන්ට නම්!
රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේ
වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර අතේ
ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ

හොටන් තැන්න දී ක්‍රීඩා පිටියකට
පවරා සිංහරාජය ලී මෝලකට
දුංහිද ඇල්ල හරවා ජල විදුලියට
සමනල කන්ද බදු දෙමු හෝටලයකට
රට කරවන්ට නම්!
රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේ
වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර අතේ
ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ
***විශාරද නන්දා මාලිනී*****
********************************

No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!