මගේ ගමන් බිමන් හැත්තෑ හයවන කොටස - දානේ අරන් නාගදීපයට

කාලෙකට කලින් ගිය යාපනේ ගමන ආයෙත් මතක් වුනා. දැන් දැන් යාපනේ ගියපු අය දාන පින්තූර දැක්කාම සහ යාපනේ යන්න යාල් දේවී ගැන දැන්වීම් පලවෙද්දී මටත් කීප පාරක් හිතුනා ආයෙම යාපනේ යන්න. ඒත් රාජකාරී නිසාවෙන් සීමා වුන නිවාඩු එක්ක ටිකක් විතර අමාරු වැඩක් තමා යාපනේ යනවා කියන්නේ. ඒත් ඉතින් සංවර්ධන වැඩපිළිවෙලවල් එක්ක ඉස්සර වගේ තිස් වසරක යුද්ධයේ නටඹුන් ගොඩක් ඒවා දැන් අයින් කරලා. ඒත් 2009 මැයි මාසේ යුද්ධය අවසන් කියන පණිවිඩේ ලැබිලා, 2010 ජුනි මාසේ යාපනේ යන්න ලැබෙන එක ඇවිදින්න දඟලන මම වගේ එකෙකුට මාර දෙයක්.

2010 ජුනි මාසේ පොසෙන් පෝය දවසේ මගේ ඥාතියෙකුගේ මාර්ගයෙන් කොළඹ ඉඳන් යාපනේ යන්න ආරාධනාවක් ලැබුනාම මම එක පයින් කැමති වුනා. ඒත් කැමරාවක් නැතුව යන්න බැරි නිසා යාළුවෙක්ගෙන් දුප්පත් කැමරාවක් අරන් පටන් ගත්තා යාපනේ යන්න. ඉතින් උදේම අම්මයි මමයි යාපනේ යන නඩේ එක්ක එකතු වෙද්දී පට්ට ත්‍රිල් එකක් තමා හිතේ තිබ්බේ. හැබැයි ඉතින් නඩේ මගේ වයසේ එකෙකුට හිටියේ මම ම විතරයි.  කොහොම වුනත් පටන් ගත්තු වෙලේ ඉඳන් පොටෝ ගහන්න නම් පුළුවන් කමක් තිබුනේ නෑ මොකද අනුන්ගේ කැමරාව, පොඩි මෙමරිය නිසා. ඒ නිසා පොටෝ ටිකයි. එහෙනම් මෙන්න කතාව. ටිකක් දිගයි. ඒත් රසවත් වෙයි කියල හිතනවා. ඔයාලගේ අදහසක් පහලින් දාල යන්න.
පාන්දර කොළඹින් පටන් ගත්ත ගමන වව්නියා කිලිනොච්චි මාර්ගයට එද්දී දවල් වුනා. ඒ මාර්ගයේදී අපට දවල් 11 විතර වෙද්දී යුධ හමුදා සෙබලුන් සංවිධානය කල ‍ොසෙන් දන්සැලකින් කෑම ටික ලැබුණා. අපූර්ව මිත්‍රත්වයකින් හෙබි සෙබලුන් අප හා කතා කලේ බොහොම සතුටින්. එතැන ඉඳන් අපි කෙලාන්ම ගියේ ඉරණමඩු ජලාශය බලන්න. කිලිනොච්චි නගරයේ ඉඳන් කිලෝමීටර 8ක් විර ඈතින් තමා තියෙන්නේ. ලංකාවේ තෙවනියට විශාලම ජලාශය වෙච්ච මේ ජලාශය වර්ග සැතපුම් 227ක් විතර වෙනවා. කිලිනොච්චි ජනතාව යල මහ කන්න දෙකම වගා කරන්න ගන්න මේ ජලාශය යුද්ධය නිසාවෙන් විනාශයට පත්වෙලයි තිබුනේ. මම යද්දී විනාශයේ කෙලවරවල් දකින්න තිබුනා. ධාතුසේන රජුගේ නිර්මාණයක් විදිහට සැලකොන මේ ජලාශය ඒ කාලේ නෙම්ඩුව ජලාශය විදිහට තමා හඳුන්වල තියෙන්නේ. කන්කර්යන්කුලම්, මුනියන්කට්ටු, කායන්තේ හා ඉරණමඩු තමා මේ ප්‍රදේශයේ තියෙන ප්‍රධානම ජලාශ වෙන්නේ.
එතැනින් ඉදිරියට ඇදුනේ ත්‍රස්තවාදීන් විසින් බිමදාපු විශාල වතුර ටැංකිය බලන්න. ඒ තැන දුක්කාම අපට තේරුණා ඔවුන් කල විනාශයේ තරම. ඒ වතුර ටැංකියේ විශාලත්වය හා ඒය පුපුරවා දාපු තැන දැක්කාම අපට කොටි ත්‍රස්තවාදය කොයි තරම් අලාභයක් කරලදකියල හොඳින්ම වැටහුනා. එතුන වැඩිවෙලා රැඳෙන්නේ නැතිව අපි කොප්‍රල් ගාමිණී කුලරත්න ස්මාරකය බලන්න පිටත්වුනා.

1987 දී හමුදාවට ලාන්ස් කොප්‍රල් කෙනෙක් විදිහට යුද්ධ හමුදාවට බැඳුන ගාමිණි කුලරත්න සෙබලා 1991 දී අලිමංකඩ සටනදී දිවි පූජා කරනවා. ඒ 600ක් සෙබලු හිටි බංකරය 5000ක් විතර ත්‍රස්තවාදී සේනාවක් වටකරල පහර දෙනවා. සටන උග්‍රවෙලා තියෙද්දී ත්‍රස්තයන් එවන විශාල යුද්ධ ටැංකිය බංකරය තුලට එන්න සූදානම් වෙනවා. ඒක ආවොත් බංකරේ ඉවරයි කියල දැනගත්තු මේ වීර සෙබලා අත්බෝම්බ දෙකක් අරන් යුද්ධ ටැංකියට පැනල ඒක විනාශ කරනවා. ඒ කල දෙය කොයි තරම්ද කියනවානම් ලංකාවේ පළවෙනි වතාවට සෙබලෙකුට ලැබෙන උසස්ම සම්මානය වුන "පරම වීර විභූෂණ" සම්මානය එක්ක ඔහු‍ගේ නිලය කොප්‍රල් දක්වා ඉහල දානවා. නමුත් ඒ සියල්ල ගන්න ඒ වෙද්දී ඔහු මේ ලොකයේ නැහැ. අදත් හසලක ගාමිණී ලෙසින් රටම හඳුනන ඔහුගේ පිලිරුවක් හසලක ප්‍රදේශයේදීත් දකින්න පුළුවන්. 
එතැනින් නල්ලූර් කොවිල බලන්න තමා පිටත් වුනේ. නල්ලූර් කියන්නේ සියවස් කට විතර කලින් උතුරේ හිටි හින්දූන්ගේ ශුද්ධ වූ නගරය. නල්ලූර් කෝවිල හදල තියෙන්නේ කෝට්ටේ රාජධානියේ හිටි 6 වන පැරකුම්බා රජුගේ අප්‍රමාණ සෙන්පති වුන සපුමල් කුමරුවන් විසින්. ඔහු තමා සෙම්බපෙරුමාල් කියන නමින් හඳුන්වලා තයෙන්නේ. ඔහු හදපු මේ කෝවිල නල්ලූර් කන්දසාමි කෝවිල විදිහට තමා ප්‍රසිද්ධ වෙන්නේ. එතැනින් හවස් වෙද්දී අපේ එදා ගමනේ අවසානය සනිටුහන් වෙන්නේ නාග විහාරයෙන්. ඒ යාපනය නගරයේ.
1935 දී කඩවැද්දුවේ නන්දාරාම නාහිමියන් විසින් මෙම විහාරය ඉදිකරවල ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙහි රෝපණය කරවල තියෙනවා. මෙමගින් උතුරේ විහාරස්ථානවල බෞද්ධ කටයුතු මෙහෙයවා ඇති බවද කියවේ. නමුත් කොටි ත්‍රස්තයන් විසින් 1985දී මෙහි බෝධීන් වහන්සේ හැරෙන්නට අනෙක් සියල්ල බිමට සමතලා කර විනාශ කරල තියෙනවා. නමුත් පසුව හමුදාවෙන් මෙක පිලිසකර කරල බැතිමතුන්ට වන්දනාමාන කරන්න පුළුවන් තත්ත්වය ඇති කරලදීල තියෙනවා. ඉතින් අපිත් මේ විහාරයේම විශ්‍රාමශාලාවේ රැය පහන් කරන්න තොරගත්තා. උදේ පාන්දරම නාගදීපයේ යන්න තමා හිතන් හිටියේත ඒ නිසා වැඩි වෙලා නොගෙන නින්දට ගියා.
උදේම අපි නාගදී‍පයට යන්න පිටත්වුනේ දානයත් සූදානම් කරගෙනමයි. හැබැයි ඉතින් නාගදීපයට යන්න තියෙන්නේ නම් බෝට්ටුවෙන්. බෝට්ටු වලට සෙනග දාන්නේ නියම ප්‍රමාණයට විතරයි. ඒකත් හමුදාවෙන් කරන නිසා අඩු වැඩි නම් නැහැ. ජීවිත ආරක්‍ෂක ඇඳුම් දාගෙන අපූරුවට බෝට්ටුවෙන් නාග දීපේ යන එකත් ජොලි වැඩක්. බෝට්ටුවේ තට්ටු දෙකයි. ඇතුලේ යන අයට අමාරුවෙන් තමා වටපිට බලන්න වෙන්නේ. ඉතින් මෙහෙම නාගදීපයේ තොටුපලට ආව අපි නාගදීපය වන්දනා කරන්න වුනා. දෙවෙනිවර බුදුන් ලංකාවට වැඩම කරවා ඇත්තේ නාගදීපයටයි. එනිසා අප ඉතිහාසයේ ඉතා වැදගත් පූජනීය ස්ථානයක් විදිහට අපට නාගදීපය හඳුන්වන්න පුළුවන්. මණිනාග දිවයින, සමුද්‍රනාග දිවයින කියන නම් වලින් හඳන්වපු නාගදීපයේ එදා මහෝදර නම් නා රජ වාසය කලේ යැයි ඉතිහාසයේ කියවේ. කැලණිය රජ කල චූලෝදර නා රජ හා මහෝදර නා රජ අතර මිණිපලඟක් නිසා හටගත් යුද්ධය සංසිඳවීමට දෙව්රම් වෙහෙර අසල කිරිපලු රුකක වාසය කල සමිද්ධි සුමන දෙවියන් සමග බුදුන් වහන්සේ ලංකාවට වැඩම කරවා ඇති අතර ඒ සමඟ බුදුන්ට සෙවණ දීමට සමිද්ධි සුමන දෙවියන් කිරිපලු රුකද රැගෙන අ‍ාවේය. පසුව යුද්ධය සමතයකට පත්කර මිණිපලඟ හා කිරිපලුරුක වන්දනා මාන කිරීමට ඉතිරි කර නැවත දෙව්රම් වෙහෙරට වැඩම කරවා ඇත. එම මිණිපලඟ නිධන් කර සෑදූ චෛත්‍යය නාගදීප චෛත්‍යයයි. කිරිපලුරුක අදල පිහිටි නිසාවෙන් රාජායතතන චෛත්‍ය විදිහටත් ප්‍රසිද්ධ වලා තියෙන්නේ මේ චෛත්‍යයමයි. දේවානම්පියතිස්ස, වොහාරතිස්ස, අග්‍රබෝධි හා විජයබාහු ඇතුලු විශාර රජවරු පිරිසක් පසුව මෙම විහාරය ප්‍රතිසංසිකරණය කිරීමට දායක වී ඇත.
එතැනින් නාගපූෂානි කෝවිල බලන්නත් ගියා. මෙහි ඇති දේව රූපය මීට වසර දහස් ගණනකට පෙර පොළොවෙන් මතුවී ආ බවත් එමෙන්ම දකුණු ඉන්දියාවේ සිට යාපනය දක්වා වෙළඳාමේ ආ වෙළඳුන්ට සිදුවූ අකරතැබ්බයක් ඔස්සේ මේ කෝවිල ගොඩනැගුණු බවත් ජනප‍්‍රවාදයේයි. ඒත් මේ කොවිගේ නම් පින්තූර මා ගාව නැහැ. එතැනින් ආයෙත් බෝට්ටුවෙන් යාපනේට ආව අපි ජෙනරල් ඩෙන්සිල්  කොබ්බෑකඩුව ඇතුළු පිරිසට බෝම්බ අවා රථය පුපුරවා හැරීම පරීක්‍ෂා කිරීම සඳහා නැවත පුපුරවා හැරි නිදර්ශක රථයක් බලන්න ගියා. ඒ අවට ප්‍රදේශ වලින් ඇතුල් පාරවල් වල නම් යන්න දෙන්නේ නෑ ඒ දවස් වල. මොකද ඒ වෙද්දීත් බිම්බා්ම්බ පිටි සුද්ධ කරල ඉවර නැති නිසා. එතැනින් අපි පිටත් වුනේ ‍ඓතිහාසික කදුරුගොඩ විහාරය බලන්න.
හුණුගම එහෙමත් නැතිනම් චුන්නකාම් කියන ප්‍රදේශයේ තමා මේ විහාරය තියෙන්නේ. බුදුන් නාලදීපයට වැඩි දිනයේ වෙහස නිවාගැනීම සඳහා මෙතැන සිටි බවත් ඉතිහාසයේ කියවේ. තවද කැණීම් වලින් කුඩා ප්‍රමාණයේ දාගැබ් 60ක් පමණ හමුවී ඇති නිසාවෙන් මෙය උතුරුකරයට විශේෂ ස්ථානයක් වී ඇත. මෙහි බුදුන් ධර්මය දේශනා කල ස්ථානය රජ්ජතන නම් චෛත්‍යය ගොඩනගා ඇත. “පුවන්කු දිවයින“ – පුංකුඩුතිව් හි වැඩ වාසය කරන ලද රහතුන් වහන්සේලා හැට නමක් අපවත්වු බවත් එම භෂ්මාවශේෂ නිදන් කොට දාගැබ් හැටක් ඉදි කර ඇති බව ප්‍රවාදයේ පවතින්නෙකි. 1917 කැණීම් සිදු කර මෙම පුරාවෘත්තය තහවුරු කර ඇත. එතැනින් යන්න තිබුනේ දඹකොල පටුනට. එතැනදී තමයි සංඝමිත්තා තෙරණින් වහන්සේ දඹදිවින් වැඩම කල ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාව දේවානම්පියතිස්ස රජුන්ට බාර කරල තියෙන්නේ. පුරාණයේ "ජම්බුකෝලපට්‌යාන" කියන්නේ මෙරට අනත් රටවල් එක්ක සම්බන්ධ කළ ස්‌වාභාවික වරායක්. ඒ ක්‍රි. පු. 3 වැනි සියවසට පෙර යුගයේ. ස්‌වාභාවික වරායක්‌ වූ ජම්බුකෝලපට්‌යාන එකල භාවිත වූයේ නාවික ගමනාගමන කටයුතු සඳහායි. අවුරුදු දහස්‌ ගණනාවකට පස්සේ වුනත් ඒක ඒ විදිහටම ස්‌වාභාවික වරායක්‌ විදිහට තියෙනවා.
දවසත් ගෙවිල අපේ ගමනත් අවසන් කරන්න අපි අවසාන ගමන දා ගත්තේ කීරමලේ නාන පොකුණ ගාවට. මේ පොකුණට වතුර එනවා කියන්නේ අසලම ප්‍රදේශයේ තියෙන පතුල නොපෙනෙන ලි‍‍ඳෙන්. එය එසේ කියන්නේ එහි පතුලක් සොයැ ගැනීමට නොහැකි වූ නිසාවෙන්මයි. කීරමලේ පොකුණ ස්වභාවයෙන්ම දෙකකට බෙදී ඇති නිසා ගැහැණු පිරිමි දෙපාර්ශවය වෙන වෙනම නෑමට භාවිතා කරනවා. මේ පොකුණෙන් නෑවම ලෙඩ හොඳ වෙන බවත් රූමත් වෙන බවත් ජනප්‍රවාදයේ කියවෙනවා. ඒ විතරක් නෙවෙයි දරුවන් නැති අය මේ පොකුණෙන් නාල ලඟ තියෙන කෝවිලට තිහින් ශිව ලිංගය නෑව්වාම දරුපල තියෙනවා කියලත් විශ්වාසයක් තියෙනවා. රාවණ ඉතිහිසය සම්බන්ධවත් මෙහි පුරාවෘත නැතවාම නොවෙයි. වැඩිවතුර මුහුදට පිටාර ගලන්න මුහුද ලඟම හදල තියෙන මේ පොකුණු වල වතර ලුණු රස නොමැති බවත් කියවෙනවා. අපේ අයට ගෙදර එන්න ඕන කම තිබ්බ නිසා නගුලේශන් කෝවිලට නම් යන්න පිටත් වුනේ නැහැ. පොසෙන් බලාගෙනම යාපනේ ගමන අවසන් කරල කොලඹට එද්දී නම් තුන්වෙනි දවසත් එලි වුනා.
අපූරු ගමනක් වුනත් පින්තූර ප්‍රමාණය නම් මදි. මෙන්න ඒ තියෙන ටික මෙතැනින්. මදි පාඩුවට පින්තූර ටිකක් මේ තියෙන නම් වලින්ම පොඩ්ඩක් ගූගල් කරල බලන්න. මම හිතන්නේ ඇති ඔයාලට දැක ගන්න පුළුවන් තරමට. 

2 comments:

  1. නාගදීපයට ගිහින් තියෙන්නෙ එකම එක පාරයි..
    දැන් යාල් දේවිත් තියන එකේ යන්න ඕනි දවසක..

    ReplyDelete
  2. නියම වැඩක්....
    (උඹ යනකොට මාවත් එක්ක පල)

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!