සංස්කෘතිය වනසන මංගල ඡායාරූපකරණය


දැන් ගොඩක් දෙනා මංගල ඡායාරූපකරණය හා බැඳී ඇති නිසාත් එය වත්මන් සමාජයේ මංගල උත්සවයක වැදගත්ම අංගයක් කරගෙන තිබෙන නිසාත් ඒ ගැන ටිකක් කතා කරන්න හිතුවා. ගොඩක් වෙලාවට මංගල අවස්ථාවක ඡායාරූප ගන්නේ අපට ජීවිතේ විඳින්න ලැබෙන සුන්දරම මතකයක් නිසාවෙන් එහි මතකයන් අලුත් කරගන්න හා අන් අය එක්ක ඒක බෙදාගන්න තියෙන මාධ්‍යයක් විදිහටයි. ඒත් පටන් ගැන්මේදී එය මංගල අවස්ථාවේ චාරිත්‍ර වාරිත්‍ර වලට බාධාවක් වුනේ නැහැ. ඒත් අද ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙලා මංගල අවස්ථාව කියන්නේ පින්තූර ගන්න දවසක් විතරක් වෙලා. ඡායාරූප ශිල්පියාට අවැසි විදිහට තමා සම්පූර්ණ උත්සවයම සිදු වෙන්නේ. මේ දේවල් වල සාරාංශයක් විදිහට තමා අද කතා කරන්න හදන්නේ. මොකද සම්පූර්ණ කතා කරන්න නම් ලිපි පෙලක්ම ඕන වෙන නිසා.













පළවෙනිම දේ තමා දැන් තියෙන අලුත්ම වැඩසටහන වුන preshoot කියන එක. මොකක්ද මේ කාරණාව. සාමාන්‍යයෙන් සිංහල චාරිත්‍ර වාරිත්‍ර අනුව මනාලයා මනාලියගේ අතිනත ගන්නේ පොරුවේදී. හැබැයි මේ preshoot එකේදී ලස්සන තැනක් කියල බඳින්න කලින් අරන් යනවා කැලෑවක, උද්‍යානයක එහෙමත් නැත්තම් දිරපු බලකොටුවකට බංගලාවට වගේ තැනකට. එතැන තමා පින්තූර ගන්නේ. ඒකෙත් විවිධ ඉරියව් තියෙනවා. මේ සියල්ල කරල අවසාන‍යේ මංගල දිනයේදී ලොකු තිරයක දාල සකස් කල වීඩියෝ දර්ශනයක් හරි පින්තූර පෙලක් හරි පෙන්වනවා. හරි අපූරුයි. යෝජිත විවාහයක් කලත් පෙම්වතුන් වගේ හැසිරිලා. ඒක කවු‍දෝ හොරෙන් පටිගත කරල. චිතුපටයක් වගේ. හැබැයි ඉතින් බලන අයට හිතෙන්නේ බඳින්න කලින් රට වටේම ඇවිදලා වගෙයි. පෙඳ බැඳුන පාලු බංගලා වලින් පටන් ගන්න ජීවිත තියෙනවාද? බිඳුණු පාලු ගෙදරකින් අලුත් ජීවිතක් පටන් ගන්න අයට ලැබෙන ආශිර්වාදය මොකක්ද කියලා නම් ලොකු ප්‍රශ්ණයක් එනවා.











දෙවැනි වැදගත් කාරණාව වන්නේ බඳින දවසේ උදේම ජෝඩුව පන්සල් යන එක. ඒක අපේ හෙල චාරිත්‍ර වාරිත්‍ර වල තියෙන දෙයක්. මොන ශුභ දෙයක් කරන්නත් කලින් බුදුන‍්ගේ ආශිර්වාද ලබා ගන්න එක. නමුත් තමන්ගේ දෙමාපියන් එක්ක පන්සල් යනවා මිස ඡායාරූප ශිල්පියා එක්ක පන්සල් යන්න කියල නම් චාරිත්‍ර වල නැහැ. නමුත් පින්තූර සඳහා පන්සල් යන එක හා ඒ පින්තූර ගනිද්දී අපේ සංස්කෘතියට වෙන විනාසය දැක්කාම අපිට නම් දුකක් තමා ඇති වෙන්නේ. ලස්සන පින්තූරයකින් ඇල්බමය ලස්ස කර ගන්නවාට වඩා බුදුන් වැඳ ආශිර්වාද ලබා ගන්න එකයි වැදගත් වෙන්නේ. මේ විදිහට පන්සල් යන ජෝඩු වලින් කීයෙන් කී දෙනාද බුදුන් වඳින්නේ. පිනතූර ටික ගත්තා දුවනවා ඊලට අවස්ථාවට... පො‍්රුවේ චාරිත්‍ර කරන්න. පින්තූර ගනිද්දී කරන ප්‍රධානම වරද තමයි බුදුන් සිහිකරන පිළිම වලට, බුදුන්ගේ ධාතූන් නිධන් කල චෛත්‍ය වලට, හා ගෞතම බුදුන් බුදු වීමට පිට දුන් බෝධීන් වහන්සේට පිටුපා ඡායාරූප ගැනීම. දැන් ඡායාරූප ගන්නේ පිටුපස තියෙන ගහ බොඳ කරලා. එහෙමත් නැත්තම් බුදු ගෙයි ඇතුලේ ඉඳන් එන විදිහට දොර ගාව තියල. එතකොට ඇතුලේ ටික කලු පාටයි මොනවද තියෙන්නේ කියල පේන්නේ නැහැනේ. ඒත් ඉතින් බෞද්ධයා දන්නේ නැද්ද බුදු ගෙයි දොර ඇතුලේ තියෙන්නේ බුදුන්ගේ පිළිම වහන්සේලා කියන දේ.
 

දැන් ඒකත් බිස්නස් එකක් වෙලා තියෙනවා. සමහර ප්‍රසිද්ධ පන්සල් වල තමා මේ දේ වැඩියෙන් සිද්ධ වෙන්නේ. පින්තූර ගන්න කලින් වෙන් කරන්න ඕන. අවසර නැත්තම් පන්සලේ පින්තූර ගන්න බැහැ. ඒ විතරක් නොවෙයි මංගල ඡායාරූප ගැනීමක් වෙනවානම් පන්සලට "ආධාර" කරන්නත් ඕන. ඒකට වෙනම ආධාර පොත් තියෙනවා. සමහර ඒවායේ රුපියල් හාර පන්දාහක් ගන්නවා පින්තූර ගන්න. අඩුම ගානේ පන්සල දකින්න වන්දනාවේ එන කෙනෙක් වුනත් අල්ලපු ගමේ කෙනෙක් වුනත් පින්තූර ගන්න නම් ලොකු හාමුදුරුවන්ගේ අවසරය ගන්න ඕන. හැබැයි ඉතින් ඒ තරම් ලස්සන නැති ප්‍රසිද්ධ නැති මංගල ඡායාරූප වලට කට්ටිය එන්නේ නැති පන්සලකට අපි ගියා නම් පින්තූර ගන්න විතරක් නෙවෙයි කෑම බීමත් දීලයි එවන්නේ. ඒවා අත්දැකීමෙන් කියන දේවල් කියල මගේ ගමන්බිමන් ලිපි පෙල කියවන අය නම් දන්නවා ඇති.

ඊලඟට චාරිත්‍ර වාරිත්‍ර ටික කරන්න ගියාමත් ගොඩක් දේ වෙනස් වෙනවා. චාරිත්‍ර වාරිත්‍ර වලට හේතු, අඳින පලඳින දේවල් වලට හේතු කිසිවක් දන්නේ නැහැ. අඩුම ගානේ දැන් දෙමාපියන්වත් ඒ දේවල් දන්නේ නැහැ කියන එකයි මගේ නම් මතය. සීයල ආච්චිල තමා දන්නේ. දැන් චාරිත්‍ර දන්නේ ගමේ වැඩිහිටියා නෙවෙයි.මංගලණයේ සියල්ල මෙහෙයවන්නේ ඡායාරූප ශිල්පියා විසින්. එයාට පින්තූර ගන්න ඕන විදිහට අනිත් අය එහා මෙහා වෙලා චාරිත්‍ර කරන්න ඕන. මොනව හරියට මොන දිශාව බලන් කරත් කමක් නෑ පින්තූර ටික හරියට වැදුනද කියලයි අහන්නේ. ඇත්ත තමයි පින්තූර වල දිශාව පේන එකක්යැ. දැන් මංගලණයේ බඳින අය වත් අනිත් වැඩ වත් වැදගත් වෙන්නේ නෑ වැදගත් වෙන්නේ පින්තූර ටික ගන්න එක. අනික දාන makeup එක. මංගල්‍යය අතරේ දුවනවා ‍දිය වෙන ඒවා හදන්න. සමහර වෙලාවට මනමාලි දිහා බලන්න බෑ තැන තැන පුල්ලි මතු වෙලා. අසාධ්‍ය සමේ රෝගියෙක් වගේ. මූණ එක පාටක් අත තව පාටක්. කලු අය සුදු වෙලා නැත්තම් කහ වෙලා. මංගල්‍යයෙන් පස්සේ ගෙදර ගියාට මනමාලි අඳුනගන්න නම් බැහැ. සම්පූර්ණ වෙනස්. ඒයා‍මද මේ කියල තමයි අහන්න වෙන්නේ.

කොහොම වුනත් ලිපියේ අවසානයක් කරන්න බැහැ. චාරිත්‍ර වාරිත්‍ර හා ඒවා ඇයි වෙන්නේ කියන දේ ගැන අනාගතයේ ලිපියක් සකස් කරල වැඩි දුර දේවල් එතැනින් කතා කරන්නම්. දිග ලිපියක් කියවගෙන යන්න අමාරු නිසා මෙතැනින් අදට අවසන්. පින්තූර වලට මුලාවෙලා චාරිත්‍ර වාරිත්‍ර විනාස කරගන්න එපා කියල තමයි කියන්න තියෙන්නේ. මොකද පරම්පරා ගනනවක් තිස්සේ රැකුන චාරිත්‍ර හේතුවක් නැතිව පවතින්නේ නැති නිසා. මම නම් හිතන්නේ චාරිත්‍ර වාරිත්‍ර කරමින් ඒවා ඒ ආකාරයෙන් පින්තූර වලට එකතු වුනානම් ඒක මේ විදිහට වඩා‍ හොඳයි කියලයි.

ධෙර්යවන්ත අපේ මිනිස්සු - 1 කොටස

මේ ලියන්න යන්නේ අපූර්ව පුද්ගලයෙක් ගැන තොරතුරු. ධෛර්යවන්ත අපේ මිනිස්සු පලවෙනා කොටස හැටියට ලියන්නේ මේ වගේ අය තවත් ලංකාවේ ඉන්න නිසයි. ඒ වගේ අය ගැන ලියන ලිපි වල ආරම්භය මේ විදිහට ලියන්නයි හදන්නේ.

මගේ විශ්ව විද්‍යාල ජීවිතය ආරම්භ කරල අවුරුද්දකට විතර පස්සේ දවසක් මම අපූරු සිදුවීමක් දැක්කා. ඒ බස් එකක කෙ‍ාන්දොස්තර වරයෙක්. ඔහු බස් එකෙන් බැහැල ඇවිත් බස් එකේ ඩිකියේ තිබුනු බඩු වගයක් බාල දෙනවා. ඕක මොකක්ද කතාවක් කියන්න දෙයක්ද කියල හිතන්නේ නැතිව කියවගෙන යන්න. මොකද මේ කොන්දොස්තරවරයා ආබාධිතයෙක්. පොඩි රෝසා වර්ගයේ බස් එකක් තමයි ඒ දවස් වල බස් එක. මම මෝටර් සයිකලයෙන් යන ගමන් හා විශ්ව විද්‍යාලයයට යන්න ප්‍රමාද වෙන නිසාවෙන් ඒ සිදුවීම පසුපස්සේ ගිහින් බලන්න බැරිවුනත් මම දන්න අයගෙන් ඒ ගැන විමසන්න අමතක කලේ නෑ.

කතාවේ ආරම්භය මම කිව්වා වගේම මීට අවුරුදු 3කට විතර කලින් සිදුවුන අහම්බෙන් දුටු බස් රථයෙන් බඩු ටික බාල දෙන තැනට යනවා. ඉතින් මේ පුද්ගලයා තමාගේ ආබාධිත කකුල් දෙක ඇතිව රැකියාව කරගෙන යන හැටි පින්තූරයක් ගන්න මම කාලයක් බලන් හිටියා. මුලින් කැමරාවකු නැතිකම, ඊලඟට විභාග නිසා නිවාඩුවක් නැතිකම වගේ දේවල් හරස් වුනා. කාලෙකට පස්සේ අහම්බෙන් අම්පාර බස් නැවතුම්පලේදී මගේ ඇස ගැටුනේ මේ පුද්ගලයා. දුවල ගිහින් කැමරාව ගත්තු මම පින්තූර දෙකක් ගනිද්දී ඔහුගේ බසය පිටත් වුනා. මම ආයෙත් එන්න බස් එකේ ආසන වෙන් කරල තිබුන‍ා වගේම ලඟ බයිසිකලයක්වත් තිබුනේ නෑ.
අපේ රටේ ආබාධිත යැයි කියමින් සිඟාකන පිරිසට ආදර්ශයක් දෙන මේ පුද්ගලයා තමාගේ රැකියාව දෙපා ඇත්තෙකු මෙන්ම අපූරුවට කරගෙන යනවා. කාටවත් වචනයක් කියන්න වෙන්නේ නැතිවෙන්න රැකියාව කරන මොහුට අපගේ ආශිර්වාදය හිමිවිය යුතුයි. හැබැයි දැන් ඉතින් ආබාධිතයන්ට කොන්දොස්තර කම් කරන්න බෑ කියල මේ අහිංසකයාගේ රැකියාව නැති කරනවා එහෙම නෙවෙයි හරිය. කල්මුණේ අම්පාර බස් එකේ වැඩ කරන මේ අපූරු පුද්ගලයා අනුකම්පාවක් බලාපොරොතුතු වෙන්නේ නෑ. මම මේ ලිපිය ලියන්නේත් නෑ බෑ කියමින් කිසි දෙයක් නොකරන අතපය හොඳින් ඇති අපේම අය වෙනුවෙන්...
 

මනමාලයන් අතින් හෑල්ලුවට ලක්වෙන නිළමේ ඇඳුම

ලංකාව කියන්නේ පෞඩ ඉතිහාසයක් තියෙන රටක්. ඒ විතරක් නෙවෙයි ලංකාවට, ලෝකයා පිලිගත්තා වූ අනන්‍ය සංස්කෘතියක් තියෙනවා. ඒක බොහෝම කාලයක් තිස්සේ නොනැසී පැවතුනත් දැන් දැන් හුදෙක් මුදල් වෙනුවෙන් සංස්කෘතිය විනාශ වෙමින් පවතිනවා. මේ ඒ වගේ කතාවක්.

අද කාලයේ කවුරුත් තමන්ගේ මංගල දිනයේදී නිළමේ ඇඳුමක් අඳින්න කැමැත්තක් දක්වනවා. නමුත් අපි ඒ දේ කරන්න ගිහින් අරුත් දන්නා පිරිස ඉදිරියේ හෑල්ලුවට ලක්වෙනවා. මුලින්ම කියන්න ඕන දෙයක් තමා ආවට ගියාට නිළමේ ඇඳුමක් අඳින්න බැහැ. ඒකට දින ගනනක් පේ වෙන්න ඕන. එතැනදී අපි පන්සල් යන එක, දින ගනන් පිරිත් සජ්ජායනා කරමින් පිරිත් නූලක් බඳින එක, මස් මාංශ වලින් තොරවී සිටීම වැනි වත් පිලිවෙත් කල යුතුයි. මේ දේවල් නොකර නිළමේ ඇඳුමක් අඳිනවා කියන්නේ අපේ පෞඩත්වයටම පහර දීමක් එය කෙලසීමක්.
ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී
තව දෙයක් තමා අඳින ඇඳුමේ වර්ණය. සාමාන්‍යයෙන් නිලය අනුව වර්ණය වෙනස් වෙනවා. වංශනිකයන් උඩුකය ඇඳුම ලෙස අඳින්නේ නිල් හෝ මෙරූන් වර්ණය. සාමාන්‍යයෙන් සුදු පැහැය භාවිත වෙන්නේ විදානේ නැමැති තනතුර හොබවන අයගේ ඇඳුමේය. වර්තමානයේ විවිධ වර්ණ වලින් යුතු නිළමේ ඇඳුම් ඇඳීම විලාසිතාවක් වීම නිසා ‍නිළමේ ඇඳුමේ ගෞරවය පමණක් නොව අර්ථයද විනාශ වෙමින් පවතී. නිළමේ ඇඳුම නිසිආකාරයෙන් ඇඳීමේදී අඩි 48ක පමණ රෙදි අවශ්‍ය වන නමුදු වර්තමානයේ විවිධ ද්‍රව්‍ය යොදා මහත සකස කර කෙටි රෙදි වලින් ක්‍ෂණික ක්‍රමයට අන්දවන නිළමේ ඇඳුම් දැකිය හැක.
ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී
නිළමේ ඇඳුමේ ඇති ‍මෝස්තර, ලියවැල්  ආදියද යොදමින් සකස් කරන මේ ඇඳුම කලකට ඉහත රාජකීය නිල ඇඳුමක් වශයෙන්ද පසුව විවිධ ඉහල පෙල පුද්ගලයන්ගේ රාජකාරී ඇඳුමක් වශයෙන්ද භාවිතා විය. මෙහි යෙදෙන ලියවැල් ආදායද කොඩි නිරූපණද භේරුණ්ඩ පක්‍ෂියා, සිංහ රූප, හංස පූට්ටුව, මොනරා සහ ගුරුලා වැනි සත්ව රූප මෝස්තර ද එම පලඳින පුද්ගලයාගේ තරාතිරම නිරූපණය කරයි.

නිලමේ ඇඳුමෙන් සැරසෙන ඕනෑම පුද්ගලයකු තුළ මහත් ආඩම්බරයක්, ගෞරවයක් ඇතිවෙන අතර ඔහුට මනා පෞරුෂයක් කැපී පෙනෙන ස්වභාවයක් ඇති වීමද ඉබේටම සිදුවේ. නිලමේ ඇඳුම ඇන්දවීමේදී මුලින්ම රැලි සහිත කලිසම අන්දවා පපු පටිය ගැට ගසා පසුව සුදු රෙද්ද, රතු රෙද්ද සහ කවණියෙන් සරසා තුම්පොට්ටිය ඇන්ඳවීමෙන් පසු බඳ පටිය හා විල්ලුද ජැකට් එක අන්දවනු ලැබේ. අවසානයෙ අදාළ ආභරණ, හිස්වැස්ම සහ සපත්තු පැළඳවීම සිදු කරයි. මෙම ඇඳුම සම්පූර්ණයෙන් ඇඳ අවසන් වූ පසු උදර ප‍්‍රදේශය විශාලව හා දෙපතුල දෙසට සිහින් ස්වභාවයක් ගනී. අවසන කිරිච්චිය හා කිණිස්ස ඉණෙහි රඳවනු ලබයි. මේවා ආරක්‍ෂාව උදෙසා තිබූ අතර අද එ්වා සාම්ප්‍රදායික "ආභරණ" බවට පත්කරගෙන තිබේ. දැන් දැන් ඇඳුමට කඩුවක් පවා එක් කරගෙන සිටින අවස්ථා තිබුනද ඒවා ‍නිළමේ ඇඳු‍ම සඳහා පසුව එක් වූ දේවල්ය.
ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී
ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී
කෙසේ වෙතත් කොටස් 14කින් යුතු මෙම ඇඳුම ලෙහෙසියෙන් ඇඳිය නොහැකි අතර තවත් කෙනෙකුගේ සහය අවැසිය. සිංහල රාජකීයයන්ගේ ඇඳුමක් වූ මෙය වර්ථමානයේ මුල්‍යමය වටිනාකමක් යොදමින් මෝස්තර නිර්මාණ ගීල්පීන් පිටරැටියන්ට පවා අන්දන්නට පටන් ගෙන ඇත. අවශ්‍ය කරන නියම අමුද්‍රව්‍ය‍ වල මිල වැඩි කම හා ඉන්දියාවෙන් ගෙන්විය යුතු අමුද්‍රව්‍ය ඇති නිසාවෙන් ඔවුන් ලේසියෙන් සොයා ගත හැකි අමුද්‍රව්‍ය යොදා ගනිමින් ඇඳුම් නිර්මාණය කරන්නට පෙලඹී ඇත. එමෙන්ම තමන් ලස්සන යැයි සිතෙන සතුන් යොදමින් නිර්මිත ඇඳුම් නිසාවෙන් මෙම රාජකීය ඇඳුමේ වටිනාකම මෙන්ම අපේ පෞර රාජ වංශයද හෑල්ලුවට පත්වෙමින් තිබේ. මෙලෙස අපේ රටේ ගෞරවය ප්‍රසිද්ධියේ විනාශ වෙන්නට නොදී රැක ගැනීම ඔබේත් මගේත් අප හැමගේත් යුතුමකමක් වන්නේය.
ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී