මාදු ග‍ඟෙන් කිඹුලෙක් අල්ලලා....

මාදුගඟ කිව්වාම කවුරුත් දන්න තැනක්නේ. ඉතින් බලපිටිය තොටවත්ත තියන ප්‍රදේශයේදී මසුන් මරන්න ගිය ධීවරයන් පිරිස‍කගේ දැල්වලට ඊයේ (2015.06.19) රෑ අපූරු යාලුවෙක් අහුවෙලා. ඒ තමයි කිඹුලෙක්. කොහොම හරි දැල එක්ක ගොඩට ගෙනාව මෙයාව කට්ටිය එක්ක ගැටගහල. රාත්‍රියේම වනජීවී එක දැනුවත් කරල. මාධ්‍ය ආයතන වල අය නම් රෑම ඇවිත්. ඒත් ඉතින් අද (20) උදේ 9.00 වෙනකනුත් වනජීවී එකෙන් නම් ඇවිත් නෑ. කට්ටිය එකතුවෙලා මස් කරයි කියන බයට වනජීවී එකට කතා කලත් කිසිම ප්‍රතිචාරයක් නැති වුනත් අඳුන් දිවියෙක් හරි වෙන වටිනා සතෙක් හරි ලැබුනා කිව්වනම් දුවගෙන එනව කියලයි ප්‍රදේශවාසීන් කියන්නේ.

"ආයෙම අල්ලල වතුරට දැම්මනම් අපේ ගඟ පරිස්සම් වෙනවා. ඒත් ඉතින් පොඩි එකෙක්වත් කෑවොත් ආයේ ගඟට අඩිය තියන්න නෙවෙයි. ඒකයි මේ වනඩීවී එකට දෙන්න මහන්සි වෙන්නේ" මේහෙම කියන්නේත් ප්‍රදේශ වාසීන්මයි. කොහොම වුනත් මිනී මස් කන්න පුරුදු වුන කිඹුලෙක් වුනා නම් මේ වෙද්දීත් කීප දෙනෙක් ගොදුරු කරගෙන. තවත් මීටත් වඩා විශාල කිඹුලන් කීප දෙනෙක්ම ග‍ඟේ විවිධ තැන්වල සැරිසරන බවයි ධීවරයන් නම් කියන්නේ.

 
සතෙකුගේ ජීවීතයක් මිනිසාට තර්ජනයක් වෙද්දී මරල දාන කාලෙක මෙහෙම අල්ලලා ඒ සතාට ඩීවත් වෙන්න පුළුවන් පරිසරයකට ගිහින් දාන්න කියල ඉල්ලීමක් කරන අය නම් අඩුයි. අනික මසට සහ සමට ආර්ථික වටිනාකමක් තියෙන සතෙකුට. ඒ වගේ වෙලත් සතුන් සුරකින්න තියෙන වනජීවී දෙපාර්තමේන්තුව මීට වඩා වගකීමකින් යුක්තව කටයුතු කරන්න ඕන කියන එක තමයි මගේ නම් පුද්ගලික මතය

වනජීවී ඡායාරූපකරණය



වනජීවී ඡායාරූපකරණය කියන්නේ අපූරු විනොදාංශයක්. හැබැයි ඉතින් දැන් DSLR කැමරා තියෙන නිසා හැමෝම මේ දේ කරන්න පෙලඹිලා. ඇත්තෙන්ම එතැනදී සිදුවන්නේ වනජීවීන්ගේ ඡායාරූප විශාල වශයෙන් බිහිවීමක් විතරයි. නමුත් විශිෂ්ඨ ගණයේ වනජීවී ඡායාරූපයක් බිහිවෙන්න නම් ඡායාරූපය තුල හොඳ පැහැදිලිව නාභිගත වුන අරමුණක් තිබීම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. එතැනට තවත් කරුණු කීපයක් අවශ්‍ය වෙනවා. එයින් වැදගත්ම කාරණාව වෙන්නේ හොඳම දේ හොඳම අවස්ථාවේදී හසුකරගැනීම කියන එක.

එවැනි ඡායාරූපයක් ගන්න නම් අප වනජීවීන්ගේ චර්යා රටාවන් හා හැසිරීම හොඳින් අධ්‍යයනය කරල තියෙන්න ඕන. ඒ කාරණාව තමා වැදගත්ම වෙන්නේ. උදාහරණයක් විදිහට අලියෙක් ජලයට එන්නේ දවල් කාලයේදී ඇති උණුසුමෙන් බේරෙන්න. ඒ එද්දී පැටවුන් සම මව් පියන් සමඟ කෙලා සෙල්ලම් කරනවා. වතුරත් එක්ක සෙල්ලම් කරනවා. ඒ වගේම ස්වභාවාක පරිසරයේදී වෙන මේ සෙල්ලම් ටික පින්තූර ගන්න නම් අපි දවල් කාලය යොදාගන්න ඕන. හැබැයි ඉතින් ස්වභාවික පරිසරයේ නැතිව කෘතීම පරිසරයකදී මේ දේ දකින්න ලැබෙන්නේ කාලසටහනට පුරුදු වුන අලි ටිකක්. ස්වභාවයේදී අලින්ගේ තියෙන පරිස්සම් වෙන හැටි පැටවුන් ආරක්‍ෂා කරන විදිහ හරි අපූරු ඡායාරූප මවනවා. ඒ වගේම ක්‍රියාශීලී කුරුල්කේ බලන්න දවල් කාලයේදී අමාරුයි. දවල් කාලයේ උණුසුමින් බේරෙන්න ඔවුන් ගස් අතු ඉති අතරේ සැඟවෙනවා.
 
 
 

ඉතින් මොකක්ද මේ හොඳම මොහොත කියන්නේ. හොඳම මොහොත කියන්නේ යම් සතෙකුගේ කලාතුරකින් දකින්න ලැබෙන එහෙම නැත්තම් යම් ක්‍රියාවක් සිදුවන ආකාරය දැක්වෙන ඡායාරූපයක් ගැනීම. නිකම්ම නිකන් කාල වැතිරිලා ඉන්න කොටියෙකුගේ පින්තූරයකට වඩා ගොදුරකට පනින කොටියෙකුගේ ඡායාරූපයක වටිනාකම වැඩියි. කුරුල්ලෙක් පියාඹන්න උත්සාහ කරන මොහොත වගේ දෙයක් පින්තූරයට ගන්න නම් අපි ඔවුන්ගේ හැසිරීම හොඳින් දැනගෙන ඉන්න ඕන.

හැසීරම විතරක් දැනගෙන වනජීවී ඡායාරූපයක් තමන්ගේම කරගන්න බෑ. ඒකට තව කාරණා කීපයක් සපුරන්න ඕන. ඒ අපේ කැමරාවේ සැකසුම් හොඳින් දැනගෙන ඉන්න වෙනවා. කැමරාව අරන් පින්තූරය ගන්න ගිහින් අපි කැමරාවේ සැකසුම් හදද්දී අවස්ථාව මග හැරෙන්න පුළුවන්. අපි ඡායාරූප ගන්න තැන ආලෝක තත්ත්වය, පසුබිම හා අවට පරිසරයේ තත්ත්වය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මේ සියල්ල සපුරාගෙන තමයි වනජීවී ඡායාරූපයක් සඳහා අප යා යුතු වෙන්නේ.
 
 
 
 

වනජීවී ඡායාරූපකරණය සඳහා සුදුසු පරිසරය මොකක්ද? ඇත්තෙන්ම කියනවා නම් ඔබේ ගෙවත්තෙන් පටන් ගන්න පුළුවන්. ඒ කොහොමද? ඔබ බොහෝ දෙනා මගෙන් අසාවි. ඇත්තෙන්ම බොහෝමයක් පිරිස් සිතා සිටින්නේ වනජීවී ඡායාරූපකරණය යනු කොටි, වලස්සු, අලි පින්තූර ගන්න එක කියලයි. නමුත් වනජීවී ඡායාරූපකරණය ආරම්භ වෙන්නේ ගෙවත්තෙන්. ඔබේ ගෙවත්තේ තිබෙන ගස් වලට කුරුල්ලන් එන්නේ නැතිද? උදාහරණ විදිහට සාමාන්‍යයෙන් දෙමලිච්චා නැති පලාතක් නැති තරම්. මයිනෙක්, කටුස්සෙක්, ගිරවෙක් වගේ සත්තු එහෙමත් නැතිනම් පිළිහුඩුවෙක් වතුර වලකින් මාලුවෙක් අල්ලන දසුනක් ලඟපාත ඇත්තේම නැතිනම් එය පුදුමයට කාරණාවකි. ඒ නිසා ආරම්භයක් වශයෙන් තමන්ගේ අවට පරිසරයෙන් වනජීවී ඡායාරූපයක ලස්සන අවස්ථාවන් හොයා ගන්න බලන්න.
 
 
 
වනජීවී ඡායාරූපකරණයේ තවත් වැදගත්ම දෙයක් තමා ඇඳුම. තමන් අඳින ඇඳුම පරිසරය හා ගැලපෙන වර්ණ ඇති එකක් වීමට වගබලා ගන්න. කිසිම විටක ස්වභාවික පරිසරය තුලට ඔබ වෙනම පැමිණි බව දැනගන්න තියන්න එපා. සතුන්ගේ චර්යා රටාවන්ට අනුගත වෙමින් හොඳ ඉවසීමකින් කටුයුතු කරන්න. එය වඩා සාර්ථක ප්‍රථිඵල ලබා දෙනු ඇත.
 
 
වනජීවී ඡායාරූප සඳහා DSLR කැමරා සකසා ගැනීම, අවශ්‍ය උපකරණ ආදිය ගැන වෙනමම ලිපියකින් හමුවන තුරු ඔබට ආයුබෝවන්. මෙහි කොමෙන්ටු ලෙස ඔබ නිවස අසලින් ලබා ගත් හොඳම යැයි හිතෙන වනජීවී ඡායාරූප පලකරන්න හැකිනම් එය මාගේ ලිපියෙන් ඔබ ලබාගත් දේ පිලිබඳ මා හට සතුටු විය හැක. සියල්ලන්ටම ස්තූතියි!
මෙන්න මගේ පින්තූර ගනිපුවා...
ගිහින් බලන්න ඇල්බම ගනනාවක් තියෙනවා. කැමරා විස්තරත් ඇති ගොඩක් පින්තූර වලට
https://www.facebook.com/sulakkhanaphotography

ඡායාරූපකරණය හා රීති



රීති වලට අපි පොඩි කාලේ ඉඳන්ම කැමති නෑනේ. ඒ ඒ රීති අපිට තැනකට හිර කරන නිසා.  අපේ අසීමාන්තික සි‍තිමේ හා නිර්මාණකරනයේ හැකියාවන් සීමා වෙනවා මේ රීති නිසාවෙන්. ඉතින් ඇයි මේ රීති. ඇත්තටම මේවා රීති කියනවාට වඩා මාර්ග සලකුණු කිව්වනම් වඩා ‍හොඳවෙයි. මේ රීති නිසාවෙන් අපි සීමාවකට යටත් වෙනවා වගේම අපිට යා යුතු මග පෙන්වා දෙනවා. හැබැයි ඉතින් මේවා කඩල බිඳල දාල පෙන්වන්න පුළුවන් නිර්මාණයකදී මේවා කිසිම පසුතැවිල්ලකින් තොරව කඩන්න පුළුවන්. හැබැයි ඉතින් රීති බිඳින්නත් ඒවා මොනවද කියල දැනගෙන ඉන්න ඕන නේද?

සංයෝජන රීති (Compositional Rules)
ඇත්තෙන්ම මොකක්ද මේ හැම වෙලාවේදීම අපි කතා කරන සංයෝජනය (Composition) කියන්නේ? කොහොමද ඒක අරමුණෙන් වෙනස් වෙන්නේ? සරලවම කිව්වොත් සංයෝජනය කියන්නේ අරමුණ හැරෙන්නට රාමුව තුල තිබෙන්නා වූ දේවල් සකස් වී ඇති ආකාරයයි.

මිනිස් ඇහැක් ආසාවෙන් බලන්නේ අවුල් වියවුල් වුන දෙයක් වෙනුවෙන් නෙවෙයි. එය යම් තත්ත්වයක් පිලිවෙලක් සොයනවා. ඒ පිලිවෙල තියෙනවා නම් අපි දකින්න ප්‍රිය වෙනවා. අපි අපේ ඡායාරූපයේ රාමුව සකස් කරද්දී මෙවැනි ඇසට ප්‍රිය උපදවන විදිහේ රාමුවක් සකස් කරගන්න ඕන. මෙවැනි රීති ගොඩක් තියෙනවා.

Rule of Thirds (ත්‍රිත්වයේ රීතිය)
ඇත්තටම මේක තමා ඡායාරූපකරණයේ මුල්ම හා වැදගත්ම රීතියක් වෙන්නේ. මෙහිදී ඔයාල ගන්න රාමුව තිරස් හා සිරස් ලෙස තුනේ කොටස් වලට බෙදාගන්නවා. මොකද මිනිස් ඇස තුනේ කොටස් වලින් දකින්න ආස කරන නිසා. එවිට සම්පූර්ණ රාමුව කොටස් 9කට බෙදී යනවා. අපි අරමුණ ස්ථානගත කල යුත්තේ මෙලෙස බෙදී යන කොටස් දිගේයි.




Golden Ratio (ස්වර්ණමය අනුපාතය)
රාමුව ස්වර්ණමය අනුපාතය බෙදීම හා ත්‍රිත්වයේ රීතියේදී වෙනස් විදිහේ කොටස් වලට තමයි බෙදෙන්නේ. ආසන්නව 3/8, 2/8, 3/8 විදිහේ කොටස් තුනකට තමයි බෙදෙන්නේ. ඇත්තටම මේක සංකීර්ණ ගණිතමය ක්‍රමවේදයකට තමයි බෙදෙන්නේ. එය 1:1.618 අනුපාතයකින් බෙදීමක් වෙන්නේ.








නමුත් අදහස සරල කරල මෙන්න මේ වගේ සෘජුකෝණාස්‍ර වලින් සමන්විත අදහසක් විදිහට කැටි කරන්න පුළුවන්.අපි මේ රේඛා ඔස්සේ තමයි අපේ රාමුව ස්ථානගත කර ගන්න ඕන වෙන්නේ.









Golden triangles and spiral (ස්වර්ණමය ත්‍රිකෝණ හා ස්වර්ණමය වක්‍රය)
 
ස්වර්ණමය ත්‍රිකෝණ රීතියේදී වෙන්නේ අපේ අරමුණ එක පැත්තකට බර වෙලා නම් ඒ වගේ අවස්ථාවකදී අපි ස්වර්ණමය ත්‍රිකෝණය භාවිතා කරනවා. ඒකෙදී රාමුවේ එක් මුල්ලක සිට එයට ප්‍රති විරුද්ධ මුල්ල දක්වා රේඛාවක් ඇඳල ඉතිරි ඕනෑම මුල්ලකින් හෝ දෙකම යොදාගෙන කලින් ඇඳි රේඛාවට ලම්භකයක් අඳිනවා. එම රේඛා හමුවන ස්ථාන වල අපි අපේ අරමුණ පිහිටුවනවා.


 

 
ස්වර්ණමය වක්‍රය නිර්මාණය වෙන්නේ මම කලින් පෙන්වලා දීපු සෘජුකෝණාස්‍රය ආශ්‍රයෙන්මයි. එතැන නිර්මාණය වෙන වක්‍රය ස්වභාවික බෙල්ලෙකුගේ කටුවක් වගේ මෙතැනදී වෙන්නේ අපි වක්‍රයේ රිද්මය ඔස්සේ පැමිණ එක් ලක්‍ෂයකදී නවතිනවා. අන්න ඒ ලක්‍ෂය තුල අපි අපේ ප්‍රධාන අරමුණේ විශිෂ්ඨම ස්ථානය පිහිටුවනවා.






Rule of Odds (ඔත්තේ රීතිය)
මෙයද ත්‍රිත්වයේ රීතියට සමාන සංයෝජනයකි. සාමාන්‍යයෙන් මිනිස් ඇස වස්තූන් ඉරට්ට සංඛාවක් දකිනවාට වඩා වස්තූන් ඔත්තේ සංඛ්‍යාවක් දැකීමට ප්‍රිය කරයි. උදාහරණයක් විදිහට කුරුල්ලන් තුන්දෙනෙක් ඉන්න තැනකින් එක් කුරුල්ලෙක් ඉවත්ව ගියා යැයි සිතන්න එවිට අපේ ඇස සිටින කුරුල්ලන් දෙදෙනා‍ දෙසම නොව මැද ඇති හිස් අවකාශයට යොමු වනු ඇත. නමුත් තුන්වෙනියා සිටී නම් නිතැතින්ම මැද ඇති කුරුල්ලා වෙත ඇස යොමුවනු ඇත. එනිසා රාමුවක් තුල වස්තූන් සංයෝජනයේදී වස්තූන් ඔත්තේ සංඛාවක් තබා ගැනීම වඩා සාර්ථක ප්‍රථිඵල ලබා දෙනු ඇත.
 
Leaving Space (හිස් අවකාශය)
හිතන්න යම් කෙනෙක් හෝ චලනය විය හැකි යම් දෙයක් අපි කාමරයක තියනවා කියල. අපි ඒ දෙයට චලනය වෙන්න ඒ කෙනාට හුස්ම ගන්න ඉඩ ටිකක් තියනවා නේද? අන්න ඒ සංකල්පය ඡායාරූපකරණයේදීත් වැදගත් වෙනවා. අපේ රාමුව තුල ඇති අරමුණ යම් විදිහකින් චලනය වෙන්න උත්සාහ ගන්නවා නම් අපි ඒ වෙනුවෙන් හිස් ඉඩක් වෙන් කරන්න ඕන වෙනවා. පනින්න හදන කෙනෙක් නම් පනින පැත්තෙන් ඉඩ කොටසක් වෙන් කරනවා. යමක් බලනවා නම් අපි බලන පැත්තට ටිකක් ඉඩ දෙනවා. හැබැයි මේ හිස් ඉඩ කියන්නේ නිකම්ම නිකන් සුදු කොටසක් නෙවෙයි. ක්‍රියාකාරී අරමුණ සහ අක්‍රීය අවකාශයක් කියන සංයෝජනයක්.

Fill the Frame (රාමුව පුරවන්න)
රාමුව පිරවීමේ රීතියේදී හිස් අවකාශය රාමුව කියන රීතිය බි‍ඳෙනවා. අපිට අවශ්‍ය අරමුණ බාහිර දේ වලින් ඉවත් කරලා මතු කරන්න ඕන නම් එහෙමත් නැතිනම් කලබල පරිසරයකින් අරමුණ ඉවත් කරගන්න ඕන නම් අපි මෙන්න ‍රීතියේ යෙදෙනවා. එවිට අරමුණ මුලු රාමුව පුරා පැතිර යනවා.






Simplification (සරල කිරීම)
රාමුව තුල සරල බව නිර්මාණය කරනවා නම් අපට අපේ අරමුණ හොඳින් මතුකරන්න පුළුවන් වෙනවා. මෙයද හොඳ ඡායාරූප සංයෝජන රීතියක් වෙනවා. මේකත් කලින් රීතියට ටිකක් සාමානයි.










Balance (සමබර බව)
අපි කලින් කතා කරපු ස්වර්ණමය රීතියට නැතිනම් ත්‍රිත්වයේ රීතියට අනුව පෙල ගැස්මක් කලොත් රාමුවේ වස්තු සංයෝජනය තුල එක් පසෙකට ඇඳි යන බවක් ඇති වෙනවා. එහෙම නැතිනම් එක පැත්තකට රාමුවේ ඇස ඇදී යන බවක් දැනෙනවා. එහෙම අවස්ථාවකදී රාමුව අරමුණට වඩා අවධානය අඩුවෙන යම් දෙයකින් රාමුවේ අනිත් පැත්ත පුරවා ගැනීමක් සිදු කරනවා. මෙය රාමුව සමබර කිරීම කියල කියන්න පුළුවන්.




Lines (රේඛා)
මෙහිදී රාමුව තුල ඇති ප්‍රමුඛ රේඛා පිළිබඳව කතා කරනවා. සාමාන්‍යයෙන් මිනිස් ඇස කිසිම පෙලඹවීමක් නැතිනම් එක් ස්ථානයක නොනැවතී එහා මෙහා දුවන්න උත්සාහ කරනවා. නමුත් රාමුව තුල ඇති ප්‍රමුඛ රේඛා මගින් අපිට අපේ අරමුණ ඇති දිශාවට ඇස අරගෙන යන්න පුළුවන්. මෙම රේඛා සරල රේඛා, වක්‍ර හෝ සර්පිල වුනත් වෙන්න පුළුවන්. කෙසේ හෝ වේවා මෙම රේඛා යම් දිශාවකට රාමුව තුල ගමන් කරවීමයි වැදගත් වෙන්නේ. මේවා මගින් ක‍ෂේත්‍රයේ ගැඹුර හෝ අසීමාන්තික බව පිළිබිඹු කරන්න පුළුවන්.

















Patterns (රටාව)
අප ස්වභාවයේ දකින රටා අපූර්වයි. එවැනි අනුවර්තී හෝ රිද්මයානුකූල රටාවන් අප ඇස යම් දැහැනකට ගෙන යනවා. වෙවැනි රාටාවන් ඡායාරූපගත කිරීම තුල යම් නිදහස් බවක් ඇති ඡායාරූප ලැබෙනවා. නමුත් වඩා ඵලදායී වන්නේ අප ඒ රටාව බිඳීමෙන් ලබා ගන්නා ඡායාරූපයයි. එවිට අප රාමුව තුල එක් සුවිශේෂී තැනක ඇස රැඳවීමක් සිදු කරනවා. එය තුල වඩා සාර්ථක සජයෝජනයක් ඇති කර ගන්න පුළුවන්.















Color (වර්ණ)
වර්ණ ඡායාරූපයක් හැඩගස්වන්න අධික ලෙසින් දායක වෙනවා. සෞම්‍ය වර්ණ (නිල්, කොළ) වලින් චාම්, නිසංසල සාමාකාමී හැඟීම් මතු කරන්න පුළුවන් වගේම රතු සුදු වැනි වර්ණ සතුටුදායක, උද්වේගකාරී හෝ ශුභවාදී රාමුවක් සකස් කරන්න පුළුවන්. එක්වරම මතුවෙන දීප්තිමත් වර්ණයක් හෝ ඒකවර්ණ පසුබිමක ඇති වස්තුවක් අපට සුවිශේෂ නාභිගත වූ වස්තුවක් පෙන්නුම් කරන්න යොදාගන්න පුළුවන්. මේ නිසා අපි ස්වභාවික වර්ණ සංකලනයන් ඇති රාමුවක් තොරාගැනීමෙන් වඩා සාර්ථක ඡායාරූපයක් ලබා ගන්න පුළුවන්.











Texture (ආකෘතික ආකාරය)
රාමුව තුල ආකෘතික ආකාර වස්තු සම්පිණ්ඩනයක් සකස් කිරීම මගින් අපට රාමුවට ජීවයක් ත්‍රිමාණබවක් ලබා දෙන්න පුළුවන්. ඒ මගින් රාමුව තුල කුතුහලාත්මකව ඇස රඳවාගන්න පුළුවන් වෙනවා.
















Symmetry (සමමිතිකබව)
සමමිතික බව රාමුව තුලට ගැනීමේදී ත්‍රිත්වයේ රීතිය බිඳි යනවා. නමුත් හිතල බලන්න ස්වභාවික හෝ මිනිසා විසින් නිර්මිත සමමිතික වස්තු සම්පිණ්ඩනයක් දුටු කල නිතැතින්ම ඔබ ඡායාරූපයක් ගන්න උත්සාහ ගන්නවා නේද? එවිට එය රාමුව තුලත් එලෙසින්ම සකස් වෙනවා නම් එය රසවිඳින්නා තුලත් ඔබ දුටු විශේෂත්වය ලෙසින්ම දකිනු ඇත.




Viewpoint (දෘෂ්ඨි කෝණය)
මෙය වැදගත් කාරණාවක්. අපි වස්තුවක් දකින කෝණය අනුව අපි පෙන්වන්න හදන වස්තුව විවිධ ආකාරයෙන් නිරූපන වෙන්න පුළුවන්. වස්තුවක් ප්‍රමාණයට වඩා විශාලව කුඩාව පෙන්වන්න පුළුවන් හැකියාවක් අපි ඡායාරූපය ගන්නා කෝණයට පුළුවන් වෙනවා. එයට අවට පසුබිමේ ඇති වස්තූන් යොදාගන්න පුළුවන්. එමගින් අප ගන්නා වස්තුවේ කෝණය අනුව අප ලබා දෙන්නා වූ අරමුණ මත කිරීමට අපමණ සහයක් ලබා ගත හැකියි.

 

















Background (පසුබිම)
අධුනික ඡායාරූප ශිල්පීන් මුලින්ම බිඳින රීතිය තමයි මේක. මෙතැනදී වෙන්නේ අපි අපේ අරමුණ දුටුවාම අපේ සම්පූර්ණ අවධානය අරමුණ වෙනුවෙන් විතරක් මෙහෙය වීම. එවිට ඡායාරූපයේ අරමුණට පිටුපසින් ඇති සියලු දේ අමතක වෙලා යනවා. අපේ අරමුණට පිටුපසින් ඇති සියල්ල බොඳ කරල දාන්න ඕනද? මේක තමා අහන ප්‍රශ්ණය. එය අහද්දීම ඔබ ඔබෙන් අහන්න පසුබිම ඔබේ අරමුණ මතු කිරීමට සහය දෙනවාද නැතිද? එයට ලැබෙන පිලිතුරම ඔබේ පැණයට පිලිතුර වනු ඇත.


Depth (ගැඹුර)
පසුබිම වගේම දෙයක් තමා මේ ගැඹුර කියන්නේ. මෙය අපි ඡායාරූපගත කරන අරමුණ අනුව වෙනස්වෙනවා. සාමාන්‍යයෙන් භූමි දර්ශනයක් නම් අපිට සියල්ල නාභිගත වෙලා තියෙන්න ඕන. ආලේඛ්‍ය ඡායාරූපයක නම් අරමුණ හොඳින් නාභිගත කර අනෙක්වා බොඳ කර දක්වන්නට අවශ්‍ය වනු ඇත. තවද මෙම ගැඹුර යම් වස්තුවක අරමුණක පිහිටීම ද්විමානයේ සිට ත්‍රිමාණය දක්වා ගෙනයාම සඳහා යොදාගත හැක. සමාන්‍යයෙන් ‍අප අරමුණක් නාභිගත කිරීමේදී රාමුවට ආසන්නම ස්ථාන නාභිගත කරනු ලබයි. එයට හේතුව අප ලඟම ඇති දේ පලමුව දකින්නට අප ඇස් පුරුදු වී තිබීමයි.
 












Framing (රාමුගත කිරීම)
රාමුගත කිරීම යනු අපගේ ඡායාරූපය තුලම අරමුණ පසුබිමෙන් වෙන් කිරීම සඳහා යම් රාමුවක තැබීමයි. මෙහිදී ස්වභාවික රාමු යොදා ගනු ලැබේ. එවිට අප අරමුණ අන් පසුබිමෙන් වෙන්ව මූලික වස්තූවක් දෙස රසවිඳිය හැකි වනු ඇත.







 












Orientation (සැකැස්ම)
සැකැස්ම යනු අපේ වස්තු සංයෝජනය රමුව කුල පිහිටුවන ආකාරයයි. බොහෝ ආධුනික ඡායාරූප ශිල්පීන් කරන වරදක් තමයි සියල්ල තිරස් ආකාරයෙන් සැකැසීම. නමුත් වස්තු සම්පිණ්ඩනය තිරස් හෝ සිරස් ලෙස සැකසීමට වඩා තිරස් අතරේ ඇති සිරස් සම්පිණ්ඩනයක වඩා සාර්ථක ඇස රැඳවීමක් කල හැක. නමුත් මෙහිදී අපි සංයෝජනය කල යුතු වන්නේ අපේ අවශ්‍යතාව අනුවයි. අපේ ඇස සාර්ථක යැයි සිතන ආකාරයෙන් රාමු සැකැසුම සිදු කරන්න පුළුවන්.

















අවසානයේ කියන්න ඕන කාරණාව තමයි මේ සියල්ල රීතීන්. මේවා යොදාගෙන අපූරු නිර්මාණ කරන්න පුළුවන්. නමුත් මේවා බිඳීමෙන් විශිෂ්ඨ නිර්මාණ කරන්නත් පුළුවන්. නමුත් විශිෂ්ඨ දේ කරන්න රීති බිඳින්නත් රීතීන් දැනගෙන සිටීම අනිවාර්ය වෙනවා. මතකයේ තියාගන්න රීතීන් ඔබට මාර්ගය පෙන්වාවි. මාර්ගය තුල ගොස් හොඳින් මාර්ගය හඳුනාගැනීමෙන් පසු තමන්ගේම මාර්ගයක් සකසා ගන්න. එය ඔබව විශිෂ්ඨයෙකු කරනු ඇත.