මගේ ගමන් බිමන් එකසිය දෙවැනි කොටස - මඩුවන්වෙල වලව්ව

ඇඹිලිපිටිය සූරියකන්ද මාර්ගයේ ඇඹිලිපිටිය හා සූරියකන්ද අතර පිහිටි කොලොන්න නගරයේ පිහිටා ඇති අපගේ ඉතිහාසය හා සම්බන්ධ අපූර්ව ස්ථානයක් විදිහට මඩුවන්වෙල වලව්ව හඳුන්වා දෙන්න පුළුවන්. කොළඹින් කිලෝමීටර 207ක් විතර ගියාම මේ ස්ථානයට පහසුවෙන් ලඟාවීමේ හැකියාවක් තියෙනවා. දෙවන විමලධර්මසූරිය රජ සමයේදී වසර 1700 දී පමණ මඩුවන්වෙල මහ මොහොට්ටාල විසින් ගොඩ නැගීම ආරම්භ කර පසුව මඩුවන්වෙල පරම්ප‍රාවේ විවිධ අය විසින් එය විශාල කර නිර්මාණය කරන ලදී. පසුව මඩුවන්වෙල මහ දිසාවේ විසින් 1905දී පමණ අවසන් කරවන ලදී.
1877 සිට 1905 කාලය දක්වා මඩුවන්වෙල වලව්වට කාමර 121ක් අභ්‍යන්තර මැද මිදුල පිහිටි ස්ථාන 21ක් සහ එය වඩා ඉඩම් අක්කර 16500 තිබූ බැව් කියැවේ. දැනට මේ භූමියේ කාමර 43ක් හා මැද මිදුල ඇති ස්ථාන 7ක් ඉතිරිව ඇත. තවද මිනිසුන් 100ක් සඳහා අසුන්ගත හැකි උසාවියක් මිනිසුන් සඳහා දඬුවම් කරන උපකරණ ආදියත් තවම ඉතිරි වී ඇත. මඩුවන්වෙල මහ දිසාවේ ට පසුව මඩු‍වන්වෙල පවුලේ සාමාජිකයන්ට අයත්ව තිබූ මේ භූමිය පසුව ශ්‍රිමත් ෆැන්සිස් මොල්මුරේට පවරා දී ඇත. එයින් පසුව 1974 දී පමණ එය රජයට පවරා පුරාවිද්‍යා පොර්තමේන්තුව විසින් කෞතුකාගාරයක් බවට පත්කොට ඇත.

ඉතිහාසය අනුව මොහුගේ වතුපිටි බොහෝමයක් සිංහල රජවරුන් දෙදෙනෙකුගෙන් තෑගි ලැබූ ඒවා වේ. අක්කර 7000ක් පමණ වූ පනාමුරේ වතුයාය එවැන්නකි. එය මඩුවන්වෙල මහ දිසාවේගේ මුත්තාට දෙවැනි රාජසිංහ රජු විසින් පෘතුගීසි බලකොටුවෙන් පැනවිත් විවධ අපරාධ කල තැනැත්තෙකුගේ හිස ගෙන ඒම වෙනුවෙන් නින්දගම් ලෙස ලබා දුන්නකි. තවත් කොටසක් ලක්දිව අවසන් රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ විසින් රජුගෙන් දිගුකලක් පැනයමින් සිටි සුදු ගෝණෙකු අල්ලා දීම වෙනුවෙනු ලැබී ඇත. මේ සියලු විරක්‍රියා සඳහා ඉතිහාසයේ විවිධ කතා පවතී.
මඩුවන්වලෙ මන්දිරය තැනූ ස්ථානය ගැනද කතාවක් පවතී. ඒ මෙසේය. මඩුවන්වෙල පරපුර මුතුන්මිත්තන් අතීතයේ මෙම ස්ථානයේ සෙල්ලම් කිරීමට භාවිතා කර ඇත. දිනක් මෙහි සිවලෙක් හාවෙක් පසුපස එපවා යනු දැක ඇති අතර තැනකදී ඔවුන්ගේ ගමන් මාර්ගයන් වෙනස් වීම නිසා හාවා සිවලා පසු පස එලවා යනු දැක ගත හැකිව තිබේ. මෙලෙස හාවා ඉතා නිර්භීත ලෙසින් ක්‍රියා කල ස්ථානය ජය භූමියක් ලෙසින් සලකා එහි මන්දිරය තැනීමට තීරණය කර ඇත.

වලව්වට ඇතුලුවෙන ප්‍රධාන දොරටු තුනකි. ඒවායේ පියගැට පෙල අසල ඇත් රූ කැටයම් කල සඳකඩ පහණකි.
වලව්ව තුල ඇති නෙදර්ලන්තයෙන් ගෙනා ටයිල් වලින් මෙසෙයික් ස්වරූපයෙන් කල පොලව ඇති කොටස තවත් ආකර්ශනීය ස්ථානයක් ලෙස හඳුන්වා දිය හැකිය. එය අදටත් අපූර්ව ආකාරයෙන් පැමිණෙන අමුත්තන්ගේ සිත් ඇද ගනී. ටයිල් කැට වල ඇති වික්ටෝරියා රැජිනගේ හා හා වෙනත් පාලකයන්ගේ රූප ද වරෙක රන් පවුමේ රූප කැටයම්ද ආකර්ශණීය කැටයමේ රටාව බිඳ දමනු දැකිය හැක. එය හුදෙක් යටත් විජිතවාදී පලනයට එරෙහිව සිටි දිසාවේ විසින් යටත් විජිතවාදී පාලකයන් වෙනුවෙන් කල හැකි උපරිම නිග්‍රහයක් ලෙස පෙන්වා දිය හැකිය. ඒ පාලකයන්ගේ රුව ඔවුන්ගේ දෙපයටම පෑගෙන්නට සැලැස්වීමයි. තවද 1905 දී සෙවිලි කල උලු තවමත් හොඳ තත්ත්වයේ පැවතීමද විශේෂත්වයකි. 

පඩිපෙල හා දොර උලුවස්ස ආදිය බුරුත, සියඹලා හා කොස් ලීයෙන් කර කාමර වල විවිධ වාස්තු නිර්මාණ මඩුවන්වෙල නිවැසියන්ට ස්වභාවධර්මයේ අපූර්ව චමත්කාරයක් නිවස තුලද ලබා ගැත හැකි වන අයුරින් නිර්මාණය කර ඇත. මීට අමතරව සියලු දෙරවල් වල උස සීමා කර ඇති අතර එය පැමිණෙන සියලු විදේශිකයන්ට හිස නමා මැදුරට ආචාර කර පැමිණෙන ලෙසින් කල නිර්මාණයක් ලෙස හැඳින්වේ. ඒ සමඟම නිවස ඉදිරි කොටසේ ඉදිකල පිරිත් මණ්ඩපය නිසා ඔහුගේ ආගමික භක්තිය මනාව හඳුනාගත හැකිය. වෙමම තාප්ප තුනකින් වල කල උද්‍යානය හා මැදින් පිහිටි උල්පත් සහිත පොකුණ අද සිඳී ගොස් ඇතත් එදා එය අපූර්වත්වයක් එක්කර තිබූ බැව් සිතිය හැකිය.
 
 
එය රත්නපුර පුදේශයේ ඉහලින් පිලිගන්නා වූ මොල්මුරේ නායද මොහු සතුය. මුතුන්මිත්තන්ගේ පවුලේ නාමය ලබා ඔහුගේ උරුමය වූ ස්වදේශික ප්‍රධාන තනතුරු 18ක් එකක් වූ රටේ මහත්තයා තනතුරට පැමිනෙන්නේ පසුවය. එහිදී ඔහු ඔහුගේ නාමය ලෙස පරම්පරික නාමය වූ වික්‍රමසිංහ විජේසුන්දර ඒකනායක අබේකෝන මුදියන්සේ රාළහාමිලාගේ සර් ජේම්ස් විලියම් මඩුවන්වෙල මහ දිසාවේ නාමයෙන් ආමන්ත්‍රණය කෙරිණ. ඔහු කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලදුව තමන්ගේ ප්‍රදේශයට සේවය කිරීම සඳහා නැවත වලව්වට පැමිණියේය. දිසාවේ සමඟ විවාහ වූ කුරුවිට එක්නැලිගොඩ කුමාරිහාමි හට දාව දියණියක උපන්නද ඇය ආබාධිත විය. අඩු ආයුවළඳා එක්නැලිගොඩ කුමාරිහාමි මිය ගිය පසු කලවානේ කුමාරිහාමි හා විවාහ විය. නමුදු එම විවාහයේ දරුවන් නොසිටි නිසා මඩුවන්වෙල පරපුර එතැනින් අවසන් විය. අදටත් කතා වෙන ලංකාවේ සිටි මඩුවන්වෙල කළු කුමාරයා යන අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ධියට පත් වුනු මඩුවන්වෙල දිසාවේ ඇත්ත වශයෙන්ම කුමාරයෙකු සතු සැප සම්පත් විඳි අයෙකු ලෙස සැලකේ. 

මඩුවන්වෙල වලව්ව හා ඒ අවට පරිසරයේ සෑම ස්ථානයක්ම එකිනෙකට වෙනස් වූ කතා ගොන්නකින් සමන්විත වෙයි. ඒ සියල්ල මෙතැන ලිවීමෙන් පොතක් ලිවීමට තරම් කරුණු එක්කොට දැන්වීමක් වැන්නේ යැයි මට සිතේ. කෙසේ වෙතත් මඩුවන්වෙල වලව්ව බලන්න යන්න. එතැන ඒ ඒ කතා කියන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා සම්බන්ධ පිරිස් ඉන්නවා. කතා ටික අහන්න ගමේ අය එක්ක කතා කලත් පුළුවන්. කෙහොම වුනත් ලංකාවේ ඒ තරම් සුවිශාල නිවසක් හිමි පුද්ගලයෙකු රජෙකු හැරෙන්නට සිටියානම් මඩුවන්වෙල දිසාවේ විය යුතුය. කෙසේ වෙතත් සුද්දාටත් හිස නවන්නට සැලැස්සූ මඩුවන්වෙල වලව්ව ඉතිසාහයේ අපේ පෞඩ ජාතිය ගැන අපූර්ව සඳහනක් මතු කරයි.

අයෙත් ලිපියකින් හමුවෙන තුරු ආයුබෝවන්...

ඇයි මේ තිරය ක්‍රමාංකිත කිරීම කරන්නේ? (Monitor Calibration)

මොකක්ද මේ Monitor calibration කියන්නේ ඇයි අපිට මේක කරන්න ඕන වෙන්නේ කියන එක දැන් දැන් කාගෙත් ප්‍රශ්ණයක් වෙලා.. අපි ‍අලුතෙන්ම ගත්තු Monitor එක අපි ඇයි ක්‍රමාංකනය කරන්නේ?

මේ වගේ ගැටලු ඇති ඔයාල හැමෝම වෙනුවෙන් ඇයි අපි calibrate කරගන්න ඕන කියන එක ලියන්න හිතුවා.. ඇත්තටම මේක ඕන වෙන්නේ අපි තිරයෙන් දකින වර්ණයයි අපි ඇත්තටම වැඩ කරපු වර්ණයයි වෙනස් වෙන නිසා. උදාහරණ විදිහට අපි පින්තූරයක් හදාගෙන print කරල බැලුවාම අපිට ලැබෙන්නේ අපි තිරයෙන් දැකපු එක නොවෙයි. ඒ වගේම මොනව හරි දෙයක් design කලාම අපි යොදපු වර්ණ අපි තවත් තිරයක හෝ වෙනයම් තැනකදී දකිද්දී වෙනස්ව පේනවා. මෙන්න මේ වගේ දේවල් වලක්වා ගන්න අපිට තිරයක් calibrate (ක්‍රමාංකනය) කරන්න වෙනවා.
ඡායාරූපය අන්තර්ජාලයෙන්
අපි අලුතින්ම ගන්න තිරයක Default Value set එකක් තියෙනවා. ඒකට අදාලව තමයි අපිට වර්ණ පෙන්වන්නේ. නමුත් අපි අපි වැඩ කරන්නා වූ පරිසරයේ ආලෝක තත්ත්ව වලට හා අපේ තිරවල ශක්‍යතාවයට අනුව අපේ තිරය ක්‍රමාංකනය කරගන්න එක වැදගත්. සාමාන්‍යයෙන් D65 කියන සම්මතයට අනුකූල ආලෝක ප්‍රභවයකින් එන ආලෝකය වර්ග මීටරයකට කැන්ඩෙලා 120කට ආසන්න තිව්‍රරතාවයෙන් සහ 2.2 Gamma වක්‍රයක් ඇති ආකාරයට තිරය ක්‍රමාංකනය කර ගැනීමෙන් සාමාන්‍යයෙන් ඡායාරූප බැලිය යුතු හොඳ ආලෝක තත්ත්වයකට තිරය සකස් කරගන්න පුළුවන්. මේක බොහෝමයක් ප්‍රදර්ශන ශාලාවල භාවිතා වෙන ආලෝක තත්ත්වයයි. මේක සම්මත අගයයක් විදිහට බොහෝ රටවල භාවිතා වෙනවා.
ඡායාරූපය අන්තර්ජාලයෙනි
අන්න ඒ කාරණාව නිසා අපි නිවැරදි ක්‍රමාංකනයක් කරගත් තිරයක් මත ඡායාරූපය සංස්කරණය කරනවා නම් කොයි කාටත් එක විදිහට ඒ ඡායාරූපය දකින්න පුළුවන් වෙනවා. ඡායාරූපයක අවසානයේ වැදගත් වෙන්නේ දෘශ්‍ය සංන්නිවේදනයයි. අපි සන්නිවේදනය කරන දේ ඒ අයුරින්ම ග්‍රහණය වෙනවා නම් එය වඩා සාර්ථක වෙනවා.

උදාරණයක් විදිහට ඔයාල ගාව තියෙන තිර කීපයකින් මේ පින්තූරය බලන්න. (මොබයිල් එක, පරිඝණක තිරය හා වෙනත් ඕනෑම තිරයන් දෙකක්)
ඡායාරූපය අන්තර්ජාලයෙනි

තිරයක් ක්‍රමාංකනය කරන්න ප්‍රධාන වශයෙන්ම ක්‍රම එකයි තියෙන්නේ. හැබැයි තිර නිශ්පාදනය කරන සමාගම් OS එක එක්ක පොඩි ක්‍රමවේදයක් සකස් කරල දීල තියෙනවා. එය සාමාන්‍ය ඇසෙන් බලා ඇසට හරියන විදිහට තිරය ක්‍රමාංකනය කරන ක්‍රමයක් විදිහට තමයි දීල තියෙන්නේ. නමුත් ඒක සාර්ථකයි කියන්න නම් බෑ. මොකද මිනිස් ඇස නොයෙක් ආලේක තත්ත්වයන්ට ඉතා ඉක්මනින් අනුවර්ථනය වෙනවා. ඒ නිසා නිවැරදි වර්ණයම එනවා යැයි ඇසින් බලා තීරණය කිරීම නම් කරන්න බැහැ. හොඳම දේ තමයි spectrophotometer එකකින් නැතිනම් නියමිත ආලෝකයන් මැනල හරියටම වැඩේ කරගන්න එක. නමුත් මේක colorimeter එකකින් වුනත් කරන්න පුළුවන්.

දැන් කියන්නම් මොකක්ද මේකෙදි වෙන්නේ කියල. සාමාන්‍යයෙන් අපි භාවිතා කරන වර්ණ පරාසයක් තියෙනවා. අන්න ඒ පරාසයේ වර්ණ පරිඝණක ගත කරන්න මේ වර්ණ සියල්ලටම පාහේ වර්ණ අංකයක් දීල තියෙනවා. Photoshop භාවිතා කරන අය නම් hexadecimal අංකය භාවිතා කරල ඇති. උදාහරණයක් විදිහට මෙහෙම පොඩි කොටසක් දාන්නම්.
ඡායාරූපය අන්තර්ජාලයෙනි
දැන් හිතන්න අපි දකින යම් වර්ණයක් අපි වර්ණ කේත භාවිතයෙන් ලබා දුන්නා කියල. ඒ වර්ණය හැමතැනදීම අපි අපේ මොනිටරයෙන් නිශ්පාදනය කලා කියල විශ්වාසයෙන් කියන්නේ කොහොමද? අන්න ඒ දේ සඳහා තමා අපි ක්‍රමාංකනය කරන්නේ. එතැනදී Calibrate tool එකෙන් අපේ පරිඝණකය ඇසුරින් විවිධ වර්ණ තිරයට ලබා දෙනවා. ඊට පස්සේ ඒ ලැබෙන වර්ණය මොකක්ද කියල මනිනවා. දැන් අපි ගාව අපි දුන්න වර්ණය හා අපිට ලැබුණ වර්ණය විදිහට තොරතුරු ටිකක් ලැබෙනවා. දැන් කරන්නේ පරිඝණකය මේ ටික වගු ගත කරන එක. දැන් යම් වර්ණයක් තිරයට යන්න කලින් මේ වගුවට යනවා. ගිහින් ඒකේ තියෙන නිවැරදි කිරීමේ අගය බලල ඒ නිවැරදි අගය තමයි තිරයට යන්නේ. ඒ නිසා සියලු වර්ණ සඳහා වූ කේතයන් හ‍ෙ තිරය අතර අතරමැදියෙක් විදිහට මේ වතුව ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ වැඩේ කරන්න ඕන කරන වලුව හදල පරිඝණකයට ස්ථාපනය කරන එක තමා මේ ක්‍රමාංකනය කිරීමෙන් කරන්නේ.
පින්තූරය අන්තර්ජාලයෙනි

ලේසියෙන් කිව්වා වුනත් මේක ලේසි වැඩක් නම් නෙවෙයි. නිවැරදිව කෙරෙන්න ඕන. හැබැයි තව දෙයක් තමයි මේ වැඩේ අපිට වරින් වර කරන්න වෙනවා කියන එකත් මතක් කරන්න ඕන..

මොකක්................???????? ආයේ ආයේ කරන්න ඕනද??

ඔව් ඇත්තෙන්ම. මොකද අපි තිරයක් භාවිතා කරන්න කරන්න අපේ තිරයේ වර්ණ තීව්‍රරතාවයන් වෙනස් වෙනවා. කොටින්ම කියනවානම් සියලු උපකරණ භාවිතයේදී ගෙවෙනවා.. අන්න ඒ නිසා කාලයත් එක්ක තිරයක වර්ණ තීව්‍රරතාවයන් වෙනස් වෙද්දී අපි ආයේ ආයේ ක්‍රමාංකනය කරගන්න ඕන. ගොඩක් අය මේ නිසා තමන්ගේ තිරය ක්‍රමාංකනය කරගන්න මහන්සි වෙන්නේ නෑ. නැවත නැවත මුදල් වියදම් වෙන නිසා. නමුත් වෘත්තීමය වශයෙන් වැඩ කරනවා නම් තිරයක් ක්‍රමාංකනය කරගන්න කියන උපදෙස නම් දිය යුතුම වෙනවා.

වර්ණ කළමණාකරණය කියන්නේ මේ කිව්ව විදිහේ ලේසි වැඩක් නම් නෙවෙයි. ඒ සඳහා හොඳ අවබෝධයක් හා දැනුමක් තියෙන පුද්ගලයෙකුගෙන් වැඩේ කරගන්න කියන්නේ අන්න ඒ නිසයි. මෙහෙම කෙටියෙන් ලියුවේ ක්‍රමාංකිත තිරයක හා ක්‍රමාංකනය නොකල තිරයක් අතර වෙනස ඔයාල එකපාරක් හරි දැනගෙන ඉන්න ඕන නිසා. මතක තියා ගන්න අන්තර්ජාතික මට්ටමේ තරඟ සඳහා නම් ක්‍රමාංකිත තිරයකින් ඡායාරූප සංස්කරණය කරන්න. දිනන්න තියෙන අවස්ථාව සෑහෙන ප්‍රමාණයකින් වැඩි වේවි..

එහෙම නම් මොනවා හරි ගැටලු තියෙනවා නම් කොමෙන්ටුවක් විදිහට අහන්න. දන්න උපරිමයෙන් පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්.. සියල්ලන්ටම ජය...

සක්මන් කරන මළුව

රත්න ශ්‍රී විජේසිංහයන් විසින් පබැඳුනු අපූර්ව ගීතයක් ලෙස මේ ගීතය හඳුන්වා දිය හැකිය. ලෝකයේ විවිධ රටවල ඇති ආදර කතා මෙන්ම අප ඉතිහාසයේ ඇති තවත් එක් ආදර කතාවක් මෙම ගීතය සඳහා පාදක වී ඇත.

ශ්‍රී වීර පරාක්‍රම නරේන්‍ද්‍රසිංහ රජ සමයේදී සිටි දස්කොන් සහ ප්‍රමිලා බිසවගේ තහනම් ආදරය මෙම ගීතය පාදක වී ඇත. මේ ගීතයේ තතු කතා කරන්නට පෙරාතුව මඳක් ඉතිහාසය දෙස බැලීම වටී යැයි සිතමින් මෙහි සටහනක් තබමි.

දෙවන රාජසිංහ රජ සමයේ ලංකාවට පැමිණෙන ලැනරෝල් නැමැති ප්‍රංශ ජාතිකයෙකු හා ඔහු හා විවාහ වන පෘතුගීසි කාන්තාවකට දාව උපන් පේද්‍රෘ ගැස්කොන් හෙවත් දස්කොන් හා වීර නරේන්‍ද්‍රසිංහ රජුගේ බිරිඳක් වූ ප්‍රමිලා බිසව මෙම කතාවේ ප්‍රධාන චරිත වේ.

නරේන්‍ද්‍රසිංහ රජුගේ ක්‍රඩා කල මිතුරකු වන දස්කොන් පසුකලෙක මහ අදිකාරම් තනතුරට පත්වේ. එකල රජ පරපුරේ සිරිතට අනුගත වෙමින් ඉන්දියාවෙන් ගෙන්වා ගත් ප්‍රමිලා බිසව රජුගේ එක් බිසවක් වන්නේ මේ සමයේදීමය. රජු රාජකාරි කටයුතු හා ඔහුගේ කෙලිලොල් ජීවිතය සමඟ විනෝද වීම සඳහා කාලය ගත කරද්දී ප්‍රමිලා බිසව සමඟ ගත කරන කාලය ටිකෙන් ටික අඩු වන්නට විය. කවියට පෙම්බැඳි ඇය තවත් කවියෙකු වූ දස්කොන් හා පෙමින් බැ‍ඳෙන්නේ මේ අතරවාරයේදීය. කවියෙන් සංවාදයන් කලා වුවද රජුන්ට හොරෙන් මේ සංවාද ආදරයක් බවට පෙරලුනි. නමුත් මේ ප්‍රේමය අවසන්‍ වන්නේ තහනම් ආදරය පිලිබඳ තතු රජුට සැලවී දස්කොන් ‍ගේ හිස ගසා දැමීමෙනි.

මේ ආදර අන්දරය ගීතයක් බවට පෙරලා ගායනා කරන්නේ කරුණාරත්න දිවුල්ගනේ සහ සමිතා මුදුන්කොටුව විසිනි.

සක්මන් කරන මළුව පාලුයි දේවී
මං විතරයි ඔබ කිසි දිනෙක නොඒවී

අප සක්මන් කල ඒ මළුව ඒ පාර අද පාලුවෙලා ගිහින්. මම තාම එතැන ඉන්නවා නමුත් ඔබ එතැන නැහැ. දස්කොන් පවසන්නේ රජුට ‍තහනම් ආදරය කණ වැටී තොරතුරු සොයා යද්දී ඇය වාසලේ සිරවී ඇති පුවතයි. ඇය නැතිව තමන් අද මලුවේ ඇවිදිනවා. නමුත් ප්‍රමිලාවන්ගේ පිලිත්‍රරෙන් සිතෙන්නේ මේ හුදෙක් කෝපය පිරි ඇවිදිීමක් මිස හුදකලාවෙන් ඇවිදීමක් නොවන බවයි.

ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී

ඉක්මනින් ඇවිදින්න ගියාම කකුල් පැටලිලා වැටෙනවා. රිදෙන්නේ අපිටමයි. ඉතින් දස්කොන්ගේ කෝපය නිවන්න ප්‍රමිලා බිසව කියන්නේ තමන්ගේ ආදරය සම්පූර්ණ වශයෙන් තියෙන්නේ දස්කොන් ගැන පමණක් බවත් ඉක්මන් වීමෙන් රජුගේ කෝපයට ලක්විය හැකි බවයි. මෙය හුදෙක් දස්කොන් වෙනුවෙන් කරන්නා වූ අවවාදයක් යැයිද සිතිය හැක.

සෙංකඩ ගල වටකල වටකල පවුරු වලල්ලේ
පෙම් ගී ගැයි විහඟුන් හැපී වැටෙන්නේ

රජුගේ රැකවල් පිලිබඳ විස්තර කරන්නට ගීත රචකයා අපූර්ව උදාහරණයක් යොදා ගනී. අතීත රජ සමයේ සෙංකඩගල රාජධානිය බි‍ඳෙන්නේ පාවාදීමෙන් මිසක යුද්ධයෙන් නොවේ. යුද්ධ කර සෙංකඩ ගල දිනාගත නොහැකි තරම් එහි රැකවල් ශක්තිමත්ය. ඒ රැකවල් වල ඉන්න බිසවත් තමාත් පෙම් කලාට ඒ ආදරය රජුගේ තේජස හමුවේ බිඳී යනවා. ඒ හරියට තාප්පයක හැපිල මැරිල වැටෙන කුරුල්ලන් වගේ කියලයි කියන්නේ.

රන්තරු දෑස පියන රෑ හඳපානේ
අත්තන මලක් වෙලා ඔබ ලඟ ඉන්නේ 

මේ සියල්ල මේ විදිහෙන් වුනත් රාත්‍රියට දස්කොන් හා ප්‍රමිලාවන් එක්වෙනවා. එතැනදීත් බිසව මතක් කරල දෙනවා මම එක්ක මේ විදිහෙන් ලංවෙලා ඉන්න එක බොහෝම භයානක බව. මම හරියට අත්තන මලක් වගේ විස සහිත විය හැකි බව. මේ ලස්සන සුගන්ධවත් මලක් විදිහට පේන මට ලංවෙන එක බොහෝම භයානකයි. මොකද මම රජුගේ බිසව නිසා.

වාසල මිණිබැඳි දොර අරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුලු මට සිහි නොවුනේ

රාත්‍රිය ගෙවිලා හෙමින් උදේ වෙද්දී වාසලේ දොරවල් ඇරෙනවා. ඒ වෙද්දී හැමෝම එහෙ මෙහේ යන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා රජුගේ අතට අ‍ේ ආදරය ගැන අසු නොවෙන්නට අවැසි නිසාවෙන් ම යායුතුයි. රජුගේ උදහසට ලක්වීම ගැන මතක් වෙද්දී මට ඔබේ ඇස් වලින් වැටෙන කඳුලු ගැන හිතන්න බැහැ. කාන්තාවක් පිරිමියෙකු හා එක්වුන සුන්දර රාත්‍රිය අවසන් කරන්න කැමති නැති බව අපූර්ව ආකාරයේන ලියැවෙන්නේ ඒ තහනම් ආදරය කෙතරම් දුර ගොස් ඇත්දැයි පෙන්වන සාධකයන් විලස යැයි මම සිතමි.

ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනි කරන්නෙපා මතු සංසාරේ

දස්කොන් සමඟ ගත කල ඒ රාත්‍රිය ඉක්මනින් ගෙවුන වගේ දැනුනේ. බොහෝම ඉක්මනින් මගෙන් ඈත් වුනා වුනත් මේ භවයෙන් පස්සේ මාව ඔබේම කරගන්න. දස්කොන් පැහැදිලි කල යථාරථය ප්‍රමිලාවන් තේරුම් ගෙන ඇති බව මනාව පැහැදිලි වෙනවා. මොකද ඇය දන්නවා රඩුට සැල වුනොත් වෙන්නේ මොකක්ද කියල.

අපූර්ව සංවාදයක් ගීතයක් බවට පත් කර එයට සංගීතයෙන් ජීවය ලබා දෙන්නේ ගුණදාස කපුගේ ශූරීන්ගේ සංගීතයයි.

***************************************************************************

සක්මන් කරන මළුව පාලුයි දේවී
මං විතරයි ඔබ කිසි දිනෙක නොඒවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී

සෙංකඩ ගල වටකල වටකල පවුරු වලල්ලේ
පෙම් ගී ගැයි විහඟුන් හැපී වැටෙන්නේ
රන්තරු දෑස පියන රෑ හඳපානේ
අත්තන මලක් වෙලා ඔබ ලඟ ඉන්නේ

වාසල මිණිබැඳි දොර අරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුලු මට සිහි නොවුනේ
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනි කරන්නෙපා මතු සංසාරේ

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ සහ සමිතා මුදුන්කොටුව
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : විශාරද ගුණදාස කපුගේ

විනේ කටින උන්...

වසන්ත පුෂ්පකුමාර අතින් පද්‍ය පන්තියක් ලෙසින් ලියැවෙන මෙය ගීතයක් ලෙසින් හැඩවන්නේ රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙනි. ප්‍රදීපා ධර්මදාස ගේ මයුර කටහඬින් ගැයෙන ගීතය අද සමාජය පිලිබඳ කතාවක් පවසයි. අද ලියැවෙන්නේ ඒ කතාන්දරයයි.

විනේ කටින උන් තරහක් නොකියාම
කනේ කොහොඹ මිරිකනවා හැමදාම 
ගුණේ රැකන් ඉන්නලු මළ හිමිගේම
වණේ නැතිව උන් දුක දන්නේකොහොම

කතාන්දරයේ කතා නායිකාව වන්නේ සැමියා මියගිය බිරිඳකි. පෙර සමාජයේ තිබූ අයුරින් විවාහයෙන් පසු වෙනමම නිවසක පදිංචි ව සිටි සැමියෙකු හා බිරිඳකි. එසේ නැවතුනේ නම් කරුණක් පැහැදිලිය. එ නම් සිය පවුල් වල පිරිස් සමඟ එක්ව විසීමට අපහසු බවයි. සැමියා මියගිය පසු බිරිඳට උපදෙස් අවවාද දෙන්නේ ඒ කියන්නා වූ ඥාතීන්මය. ඒ නිසා තමයි විනේ කටින උන් ලෙසින් ඔවුන් හඳුන්වා දී ඇත්තේ. උන් තරහ නොපෙන්වා තමන්ට උපදෙස් දෙනවා. නමුත් උපදෙස් සියල්ල කොහොඹ මෙන් තිත්ත ය. කණේ කොහොඹ මිරිකනවා යනුවෙන් දක්වා ඇත්තේ ඔවුන් දෙන උපදෙස් කිසිවක් සාරථක නොවන්නා වුවත් ඒ අමිහිරි බව නෙදෙැනෙනා අයුරින් තමන් සමඟ කතා බහ කරමින් ඉන්න බවයි. ඔවුන් සියල්ල පවසන්නේ මිය ගිය සැමියාගේ ගෞරවය රැකගන්නා ලෙස වුවත් කුඩා දරුවන් සිටින තරුණ බිරිඳක ජීවිතය ගෙවන්නේ කොහොමද කියල නොදන්න අය ඒ ගැන උපදෙස් දෙන අයුර ඔවුන් කොහොම කියන්නදැයි අසන්නේය.

ගමේ ගැටව් කරබාගෙන උන්නාට
විසේ නැග්ග නාකිත් පිල උඩ රෑට
නෙලා ගනින් යැයි කප් රුක පිදුවාට
ඉනේ රෙද්දමයි හිටියේ හරහාට

පිට ගමක ඉන්න සැමියා මියගිය තරුණ කාන්තාවක් ගැන සිතිවිලි පහල වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ගමේ තරුණයන් ඒ වුවත් ඇයට ලං වෙන්න උත්සාහ කරන්නේ නෑ. එයට හේතු වෙන්නේ ඇය ගැන ඔව්න් නොදන්නා නිසා ඇය කොහෙම කෙනෙක්දැයි ඔවුන් නොදන්නා නිසා විය හැකිය. නමුත් තලතුනා අය රෑ වෙද්දී තමන් වෙත ඇදී එන්නේ යැයි සඳහනකි. මෙය සමාජයේ ක්‍රමය අපූරුවට විදාහ දක්වනවා යැයි මා සිතමි. විසේ නැග්ග උන් ලෙස හැඳින්වෙන්නේ තලතුනා විවාහක උදවිය විය යුතුය. ඔවුන් ලැජ්ජා නැතිව මා සොයා එන බව අපහාසාත්මක ලෙසින්ම සඳහන් කර ඇත. ඔවුන් මුදල් දී ඇය හා යහන් ගතවීමට තැත් කලා වුනත් තමන්ගේ ගමේ තියෙන ගෞරවය තාමත් රුඳී තියෙන බව ඇය පවසනවා. නමුත් ඒ ඉනේ රෙද්ද වාසනාවට තියෙන දෙයක් විදිහට ඇය දකින්නේ නැහැ. එයට හේතුව වන්නේ ඇයට ඇති මුදල් අඟ හිඟකම්ය. ඉනේ රෙද්ද නොතිබුනා නම් තමන් වෙනුවෙන් කප්රුකක් නොතිබෙනවා ම නොවෙයි.

ලැමේ කිරට මොර ගහනා පැටියන්ට
අනේ කවුද ඉන්නේ වේලක් දෙන්න
ලිපේ ගින්න තුන් වරුවේ අවුලන්ට
වරෙව් මහතුනේ කුණුකය වලඳන්න

අවසානයේ ඇය තමන්ගේ කිරි දරුවන් මතක් කරමින් තැවෙයි. දරුවන් කිරි ඉල්ලා හඬද්දී තමන්ට කන්න වේලක් නැතිව දරුවන්ට දෙන්නවත් කිරි එරෙන්නේ නැති තරම්වේ. තමන් පාරේ යද්දී කෙල හලනා උන් දහසක් හිටියත් මේ දුක්ඛිත තත්ත්වය දැනත් ‍එක වේලක් කෑම දෙන්න තරම් කෙනෙක් කොහේවත් සිටියේ නැහැ. සමාජයේ අනේ අපොයි කියන්න ඉන්න අය ඇත්තටම උදව් කරනවාද නැද්ද කියන එක අපූර්ව ආකාරයෙන් සඳහන් වෙනවා මෙතැනදී. දැන් ඇයට කල හැකි දෙයක් නැහැ. කන්න බොන්න නැතිව, දරුවන් කෑම නැතිව අඬද්දී තමන්ගේ ආර්ථිකය නැති වෙද්දී මවකට කල හැකි අවසාන දේ ඇය කරන්න තීරණය කරනවා. ඒ තමයි ගණිකා වෘත්තිය තෝරා ගන්න එක. තමන් වෙනුවෙන් මිනිස්සු එනවා නම් ඇයි එය මුදල් කරගන්නේ නැත්තේ කියල ඇයට හිතෙන්නේ තමන්ගේ අගහිඟකම් නිසාමයි. අන්න ඒ නිසා තමයි ඇය කියන්නේ වරෙව් මහතුනේ කුණුකය වලඳන්න කියල. මොකද දැන් මේ ඇඟ මැරිල තියෙන්නේ. සමාජයෙන් එන ගැරහිලි, ණය බර වගේ දේවල් නිසාවෙන්. ඒ නිසා ඇවිත් මේක කාල දාපියව් කියල සමාජයට ගැරහුමක් සමඟ සාපකාරිව ඒ දිහා බලන්න ඇය පුරුදු වෙනවා.

සමාජයේ විදිහ ගැන අපූර්වත්වයක් තියෙන මේ ගීතය නිදහසේ අහන්න කියල ඔයාලටත් ආරාධනා කරනවා. දැනුන දෙයක් තිබුනානම් කොමෙන්ටුවක් කොටාගෙනම යන්න.

******************************************************************************

විනේ කටින උන් තරහක් නොකියාම
කනේ කොහොඹ මිරිකනවා හැමදාම
ගුණේ රැකන් ඉන්නලු මල හිමිගේම
වණේ නැතිව උන් දුක දන්නේ කෝම

ගමේ ගැටව් කරබාගෙන උන්නාට
විසේ නැග්ග නාකිත් පිල උඩ රෑට
නෙලා ගනිමි යැයි කප් රුක පිදුවාට
ඉනේ රෙද්දමයි හිටියේ හරහාට

ලැමේ කිරට මොර ගහනා පැටියන්ට
අනේ කවුද ඉන්නේ වේලක් දෙන්න
ලිපේ ගින්න තුන් වරුවේ අවුලන්ට
වරෙව් මහතුනේ කුණුකය වලඳන්න

ගායනය - ප්‍රදීපා ධර්මදාස
පද රචනය - වසන්ත පුෂ්පකුමාර
තනුව - රෝහණ වීරසිංහ

Smoke Arts

Smoke Art එහෙමත් නැතිනම් දුමෙන් කල නිර්මාණ කියන්නේ ඡායාරූපකරණයේ තියෙන අපූරු ප්‍රහේදයක්. ගිණි ගොඩක ආරම්භයේ ඇතිවන දුමක් හෝ නිවෙද්දී ඇතිවෙන දුමක් දිහා බලන්න. එය ටික වෙලාවක් බලා සිටිද්දී අපූරු රටාවන් දකින්න පුළුවන්. නමුත්ඒ සියල්ල ක්‍ෂණයකින් ඇතිවෙලා නැතිවෙලා යනවා. මෙන්න මේ වගේ රටා නිරතුරු ඇති වෙනවා වගේම අපිට DSLR කැමරාවක් භාවිතා කරල මේක පහසුවෙන් ඡායාරූපගත කරන්න පුළුවන්. බලමු අපි කොහොමද මේ දේ කරන්නේ කියල. 

මුලින්ම අපි සපය ගන්න ඕන දේවල් කීපයක් තයෙනවා. දුම ඇති කරන්න පුළුවන් ප්‍රභවයක් (හඳුන් කූරක් වැනි දෙයක්), කැමරාවෙන් ඉවත් කල හැකි ආලෝක ප්‍රභව, කලු තිරයක්, ආලෝක පරාවර්ථක, ශක්තිමත් ත්‍රිපාදයක්. 
දැන් කලු තිරය රැලි නොසිටින විදිහට සකස් කරල දුම් ප්‍රභවයේ ඉඳන් අඩි 4ක් විතර දුරින් තියන්න. දුම් ප්‍රභවය දකුණු පැත්ත සහ වම් පැත්ත Speed Light දෙකක් තියා ගන්න පුළුවන් නම් හොඳයි නැතිනම් එකක් තියල අනික වෙනුවට Reflector එකක් භාවිතා කරන්න. ඉහලිනුත් reflector එකක් භාවිතා කලා නම් ලස්සන ආලෝකයක් ලැබෙයි. දුම් ප්‍රභවය තියන ගැන ගැන හිතල ඒ තැන මොකක් හරි උස හීනි දෙයක් තියන්න. කම්බියක් වගේ දෙයක්. දැන් කමරාව Manual Focus එකට දාල ඒ කම්බිය නාභිගත කරගන්න. 


කැමරාවේ සෙටින්ග්ස් ආරම්භය හැටියට මෙහෙම සකස් කරගන්න. ටිකක් වැඩි ද්වාර අගයක්. වැඩි ISO අගයක් හා වැඩි විවිර අගයයක්.  මේ සියල්ල කැමරාවට ලැබෙන ආලෝකය අඩු කරනවා වුනත් අපේ කෘතීම ආලෝකය අපට අවශ්‍ය දුම ආලෝකත් කරල දෙනවා. ද්වාර අගය වැඩි වීම දුම ඇති කරන අපූර්ව හැඩතල ඡායාරූපයට ලබා දෙනවා. වැඩි විවිර අගය දුම පැතිලෙන විදිහ පුරෝකථනය කල නොහැකි නිසා වැඩි ක්‍ෂ්ත්‍ර ගැඹුරකින් එය සටහන් කරගන්න උදව් වෙනවා. 

මතකයේ තියා ගන්න කිසිම වෙලාවක අපි යොදන ආලෝකය කෙලින්ම කැමරාවට හෝ පිටුපස ඇති කලු තිරයට එල්ල කරන්න එපා. එවිට පසු සැකසුම් අපහසු වෙයි. එය වලක්වන්න ආලෝක ප්‍රභව වලට කාඩ්බෝඩ් වලින් ආවරණ සකස ගන්න පුළුවන්. 
 
 
දුම විදිහට සිහින් දුම් වලාවක් භාවිතා කලාම අපූරු හැඩ මවන්න පුළුවන්. සුලඟින් බාධා නැතිනම් අපිට දුම් ප්‍රභවය සෙලවීමෙන් අපූර්ව රටා මවන්න පුළුවන්. Remote control එකකින් ඡායාරූපය ගන්න පුළුවන් නම් බොහොම සාර්ථක විදිහට අපේ ඡායාරූපයට නිර්මාණාත්මක බවක් ඇති කරගන්න පුළුවන් වෙයි. තවත් දෙයක් මතකයේ තියා ගන්න. ඡායාරූපගත කිරීම් සිදු කරල කාමරයට හොඳින් වාතාශ්‍රය ලැබෙන්න සලස්වන්න. මොකද ටික වෙලාවක් යද්දී කාමරය දුමෙන් පිරුනාම ඡායාරූප ගන්න නම් වෙන්නේ නෑ.

මේ තියෙන්නේ මම කල නිර්මාණ ටිකක්.....

https://www.facebook.com/pg/sulakkhanaphotography/photos/?tab=album&album_id=508127479367549

සිරියහනේ ලණු ඉහිරී

අඩෙවිය කියනවන අයගේ අදහස් උදහස් ලියවෙනවා නම් කියල හිතද්දී මේ ගීතය ගැන ලියන්න කියල උපහාසාත්මක දැයි සිතෙන ආකාරයේ අදහසක් පල වී තිබුනා..  මේ ඒ ඉල්ලීමට...

විශාරද එඩ්වඩ් ජයකොඩි ගායනා කරන ලූෂන් බුලත්සිංහල ලියූ සිරියහනේ ලණු ඉහිරී කියන ගීතය මට දැනෙන්නේ මෙන්න මේ විදිහට.. 

සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ
මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//

සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ කියන තැනකින් ගීතය පටන් ගද්දී මට හිතෙන්නේ මිල මුදල් තිබුන කෙනෙක් දැන් ඒ සියල්ල විනාශ වෙලා දුගී වෙලා රාත්‍රියේ සුසුම් හෙලමින් කල්පනා කරනවා කියලයි. සිරියහනත් දැන් දැන් ඔහු නිදන්න යද්දී හඬනවා. ඒයින් පසු තමා නිසල වූ  ඔහුට ඇහෙනවා මලුළුවන් දැල් වියන ශබ්දය. මොකද ඔහුගේ තනිකම ඒ තරම්ම වැඩි නිහැඬියාවක් ඇති කරල තියෙන නිසා. තාපසුන්ගේ දැහෙන බිදින්නට පවා සමත් යැයි කියන්නා වූ නාරිලතා මලක් තමන්ගේ යටලීයේ පූදින්නේ කුමටද කෙසේදැයි සිතා ගත නොහැක. නමුත් ඔහු සිටින්නා වූ ඉරියව්ව හා ඔහුගේ සිතිවිලි සමුදාය ගැන කියන්න මේ තරම් අලංකාර වෙනත් ක්‍රමයක් කොයිදැයි මට සිතේ. හිමාලයේ පිපෙන්නා වූ නාරිලතා මලක් ඔහුගේ වහලේ පූදින්නේ තවත් ස්ත්‍රියක් ගැන ඔහුට සිතුනාවත් දැයි සමට සිතේ. ස්ත්‍රියක් නැති නිවසක තනියම ජීවත් වන පුරුෂයෙක්. තමාගේ දුප්පත් කම නිසාවෙන් තමාට නැතිවුන දේ ගැන ශෝක වෙන ආකාරය. උඩුබැලි අතට වහල දෙස බලාගෙන තමාගේ ජීවිතයේ හමුවූ නොයෙක් ආකාරයේ තරුණියන් ගැන මවා පාමින් සිටින අයුරක් අපූරු ආකාරයෙන් මවා පාන්නට මේ පද පෙල සමත් වේ යැයි සිතමි.

ස‍ඳෙන් සඳට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින්
නෙතට නුහුරු කඳුළු බිංදු පැදුරට මුහුවෙලා හොරෙන්
තරුණියකගේ මුහුණ සඳ වාගේ යැයි අප අනන්තවත් උපමා කර ඇත්තෝය. සඳින් සඳට මුවාවෙලා කල වයස ගත වෙලා තියෙන්නේ. තමන්ගේ නැති බැරිකම් නිසා තරුණියන් හමුවෙලා කතා කරන එක, දකින එක, ඇඟෑලුම් පාන එක කලේ නැහැ. හෙට දියුණු වෙයි කියන බලාපොරොත්තුවෙන් කෙතරම් තරුණියන්ව මේ තරුණයා අමතර කරල තියෙනවද? ඒ අය අයිති කරගන්න බැරිවුන වේලාවේදී මොහු කොයි තරම් අඬල තියෙනවාද. කඳුලු ඒ තරම් වැටිලා දැන් හඬන්න තරම් කඳුලු නැහැ. ඒ සියල්ල පැදුරට එකතුවෙලා. ඒ වගේම මෙය අතීතයේ මාසය ගනන් කල චන්ද්‍ර මාස ක්‍රමයෙන් තමා වයසට ගොස් ඇති බව තහවුරු කරන්නටද සමත් වෙනවා. සිරි යහනක් තිබුනා වුනත් දැන් ඔහු එයට පැදුරක් දාගෙනයි ඉන්නේ. ඒ ඔහුගේ දුප්පත්කම දිනෙන් දින ඔහුව හිරකර ගන්නා නිසා.

යහන තලා සැප විඳිනා පල දී නැතුවා පෙර පින්
මාල වළලු නොතිත් අයට අප අමතක වෙලා ගිහින්

හොඳ යහනක තරුණියක හා විවාපත් වෙලා එකට නිදන්න තරම් ඔහු පින්කර නැති බව සිතමින් තමන්ලේ සිත එක්තැන් කරන්නට වෑයමක් දරනවා. තරුණියක් ලංකරගන්න ඇගේ සිතේ යමෙකු ගැන අදහසක ඇති වෙන්න කරුණු කීපයක් ඕනෑය කියල කියමනක් තියෙනවා. එයින් කොටසක් අරන් මාල වලලු කණකර ආදිය තිබුන අය ගැන මතක් කරමින් කියන්නේ කාන්තාවන්ට තමන් අමතක වුන බවයි. ඒ තමනිගේ වයස වැඩි නිසා යැයි සිතමින් ඔහුගේ වෑයම තම සිත එක්තැන් කරගැනීමටයි. නමුත් තවමත් යටලීයේ නාරිලතා මල් පූදිනවා......

....................................................................................................................................
සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ
මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//

ස‍ඳෙන් සඳට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින්
නෙතට නුහුරු කඳුළු බිංදු පැදුරට මුහුවෙලා හොරෙන්
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//

සිරියහනේ ලණු ඉහිරී..

යහන තලා සැප විඳිනා පල දී නැතුවා පෙර පින්
මාල වළලු නොතිත් අයට අප අමතක වෙලා ගිහින්

යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//

ගායනය : එඩ්වඩ් ජයකොඩි
සංගීතය : එච්.එම්.ජයකොඩි
පද රචනය : ලූෂන් බුලත්සිංහල

වර්ණ තෙවන කොටස - සරල බව

ඡායාරූප වල වර්ණ භාවිතයේ තවත් ක්‍රමයක් තමයි වර්ණ සංකලනයේ සරල කිරීම. එසේත් නැතිනම් සරල වර්ණ භාවිතය. එයින් වඩාත්ම සරල ආකාරය ලෙස ඒකවර්ණ ඡායාරූප හඳුන්වා දෙන්න පුළුවන්. එහිදී එක් වර්ණයක දීප්තිය හා ඡායාවන් භාවිතයෙන් සම්පූර්ණ ඡායාරූපයම නිර්මාණය වෙන නිසා. බොහෝ විට ඒක වර්ණ ලෙස කලු, කහ වර්ණ ප්‍රහේද, තැඹිලි හෝ කොළ වර්ණයේ ප්‍රහේද වශයෙන් භාවිතා වේ. එසේ කල නිර්මාණ බොහෝ ගනනක් අපට අන්තර්ජාලයේ ඇසුරු කල හැකිය. මීට අමතරව සීමිත වර්ණ පරාසයක් ඡායාරූපය තුල භාවිතා කිරීමද දකින්න පුළුවන්.
Photograph by Sulakkhana Chamara @Sula Photography
 
කෙසේ හෝ ‍වේවා මෙය ප්‍රෙක්‍ෂකයා වෙත ගෙනයාම සම්පූර්ණ වශයෙන් සිදුවීම විද්‍යාත්මක අයුරින් පැහැදිලි කල හැකිය. සාමාන්‍යයේ මිනිස් ඇසක් වර්ණ සංකීර්ණ අවස්ථා වලදී එය තේරුම් ගැනීමට කාලය වැය කරන්නේ නැත. එය එසේ වීමට නම් අරමුණ වඩා ආකර්ෂනීය විය යුතුය. එනිසා බොහෝ විට මිනිස් ඇස හා ‍මොලය සීමිත වර්ණයන් වෙත නැඹුරු වී ඇත. ඇසක මූළික වශයෙන් සෛල හඳුනා ගන්නේ රතු, කොල හා නිල් පැහැයන් වලටය. එයිනුත් වැඩිපුර කොල දෙවනුව රතු හා ඉන්පසු කොල පැහැයත් ලෙස සෛල තිබේ. මේ සංයෝජනය හා මිනිසුන් වඩා කැමති වර්ණ හඳුනා ගැනීම මගින් ඡායාරූපයක් වඩා පහසුවෙන් නැඹන්නා වෙත ලබා දිය හැකි වනු ඇත.

වර්ණ සීමා කිරීම හා සරල කිරීම මගින් ඡායාරූපයට වඩාත් නාට්‍යමය ස්වරූපයක් ලබා දීම මගින් එයට ප්‍රේක්‍ෂකයා ඇඳ බැඳ තබා ගැනීමේ දක්‍ෂතාව ඡායාරූප ශිල්පියකු මනා ලෙස පුරුදු පුහුණු කල යුතු වන්නේය. බොහෝ විට ඡායාරූපයක් ගෙන පරිඝනක තිරයක බැලීමෙන් එහි කිසිඳු අගයක් නොපෙනෙනු ඇත. නමුත් එහිම වර්ණ සරල කිරීමෙන් ඒ ඡායාරූපයම වඩා සාර්ථක ඡායාරූපයක් බවට පත් කරගත හැකිය. එයින් කිසිවිටෙකත් අපේ අරමුණින් බැහැර වීමක් කියවෙන්නේ නැත සිදු කල යුත්තේ අරමුණ ගැන සිද්දීම පසුබම හා එහි වර්ණ පිලිබඳවත් හොඳ අධ්‍යයනයකින් පසුවී ඡායාරූපය ලබා ගැනීමයි.


මෙය හොඳින් පුරුදු පුහුණු වීම හොඳ ඡායාරූපයක් විශිෂ්ඨ ඡායාරූපයක් බවට පත්කිරීම් බාධකය බිඳ දමනු ඇත.
Photograph by Sulakkhana Chamara @Sula Photography

වර්ණ පළමුවැනි කොටස මෙතැනින් 

වර්ණ දෙවැනි කොටස මෙතැනින්

ඡායාරූප අන්තර්ජාලයෙනි

වර්ණ - දෙවන කොටස - පැහැ ගැන්වීම හා අඳුරු ගැන්වීම

සියලු වර්ණ පැහැය (Hue) අනුව හෝ තානය (Tone) අනුව වෙනස්වේ. වර්ණ පැහැය උදාහරණ ලෙස නිල් හා කොළ පැහැය ලෙස වෙනස් පැහැ දෙකක් ලෙස පැවතීම සැලකිය හැකිය. වර්ණයක තානය ලෙස ඒ එක් එක් වර්ණයේ පවතින ප්‍රමාණය ලෙස කිව හැකිය. එය දීප්ත හා අඳුරු ලෙස අන්ත දෙක අතර පවතී.

විශය පැහැදිලී වීම සඳහා ඒක වර්ණ පරාසයක් සලකමු. කලු හා සුදු යනු ඒක වර්ණයක අන්ත දෙකකි. එය පැහැයන් දෙකක් ලෙස හැඳින්විය හැකිය. කලු පැහැයට වර්ණ එක්කිරීම එසේ නැතිනම් දීප්තිය ඇති කිරීමෙන් සුදු වර්ණය ලැබෙන අතර සුදු වර්ණයට අඳුර එක් කිරීමෙන් කලු පැහැය ලැබේ.
මේ ආකාරයෙන් යම් පැහැයකට දීප්තිය (සුදු) එක් කිරීම මගින් තානය වෙනස් කිරීම පැහැගැන්වීම (Tinting) ලෙසත් යම් පැහැයකට අඳුර (කලු) එක්කිරීමෙන් ඡායාවන් (Shading) ඇති කිරීම ලෙසත් හැඳින්වේ. මෙලෙස තානයන් ඇති කිරීම මගින් ඡායාරූපයකට පැහැ අන්තරයක් අපූර්ව ව‍ශයෙන් ලබා ගත හැකිය. 

මෙලෙස තානයන් හඳුනා ගනිමින් Ansel Adams විසින් Zone System එක හඳුන්වා දී ඇත.
වර්ණ පළමුවැනි කොටස මෙතැනින් 

ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.

වර්ණ - පළමුවන කොටස - වර්ණ හා දුෂ්ඨිකෝණය

ඡායාරූපකරණය සඳහා ඉතා වැදගත් වන්නා වූ කොටසක් මෙලෙස වර්ණ ලෙස ලියා දක්වන්නට සිතමි. මා ද මෙය තවමත් අධ්‍යයයනය කරමින් සිටින්නකු වන නිසාවෙන් ඔබගේ ‍අදහස් කමෙන්ටුවක් වශයෙන් පල කරන්නේ නම් එය ස්තුති පර්වකව බලාපොරොත්තු වෙමි. මා මෙතෙක් උගත් පරිද්දෙන් ඡායාරූපකරණය සඳහා වර්ණ වල අතිමහත් වැදගත්කමක් පවතින බැව් දනිමි. එනිසා මෙම කුඩා ලිපි පෙල මෙතැනින් ඉදිරියට  අධ්‍යයනය සඳහා ඔබටත් ඇරයුම් කරමි.

අතීතයේ චිත්‍ර ශිල්පීන් අති මහත් කාලයක් කැපකරමින් වර්ණ හා එහි සංයෝජනයන් හා එහි මුසුවීම් පිළිබඳ උගත්තෝය. ඒ, එයින් හැඩවැඩ වන්නා වූ කැන්වසය ප්‍රේක්‍ෂකයාගේ සිතේ ඇති කරන්නා වූ චින්තනය පිළිබද මනෝ විද්‍යාව ප්‍රගුණ කර අපූර්ව චිත්‍රයක් නිර්මාණය කිරීම සදහාය. චිත්‍රයක ඇති වර්ණ අපව එහි අභ්‍යන්තරයට රැගෙන යන අතර වර්ණයන්ගේ උස්පහත්වීම් මත පින්තූරය ත්‍රිමාණය වෙත ලංකරගත හැකිව තිබේ. 
 
Mona Lisa by Leonardo da Vinci

Squares with Concentric Circles by Wassily Kandinsky


වර්ණ පුමාණය අනුව එය කඳු වලල්ලක් ලෙස හඳුනාගන්නේ කුමක්ද? A or B

නමුදු ඡායාරූප ශිල්පීන් අඩුම කාලයක් වැය කරන්නේ වර්ණ ගැන උගනීමට බැව් මට සිතේ. වර්ණ පිළිබඳ සංකල්පයන් නිවැරදි අයුරින් තේරුම් ගත් ඡායාරූප ශිල්පීන් නැතිවාම නොවේ. නමුත් නවකයන් අතර ප්‍රමුඛයන් සෙවීම පහසු වන්නේත් මෙය තෝරා බේරාගත් අය ඉන්නා නිසාවෙන් යැයි මට සිතේ.

ඡායාරූපයක් නැරඹීමෙන් ඔබට එය හොඳයි නරකයි යැයි කිව හැකිය. එයට හේතුව වන්නේ එය අපේ ඇස ඇද බැඳ ගන්නේ නැති හෝ ඇති නිසාවෙනි. අකමැති හෝ කැමති වන්නේ ඇයිදැයි ඇසුවොත් එය පැහැදිලි කිරීම වඩාත් අසීරු වනු ඇත. නමුත් ඡායාරූප ශිල්පීන් වශයෙන් ප්‍රෙක්‍ෂකයාගේ සිතේ ඒ ඒ ඡායාරූපයට කැමැත්තක් ඇතිවන්නේ ඇයි දැයි සොයා බැලීම කල යුතු වන්නේය.
 
by DeLone
by Steve McCurry
මේ සඳහා අප මිනිසකුගේ ඇස වඩා කැමති වන්නේ කුමක් දැකීමටදැයි උගත යුතු වන්නේය. ඡායාරූපයක් කෙනෙකුගේ සිතක කැමැත්තක් ඇති කිරීමට නම් ඒ තුල යම් මූලිකාංග කීපයක් තිබිය යුතුය. එයින් එකක් නම් වර්ණ කළමණාකරණයයි. බොහෝ ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් ඔවුන්ගේ වර්ණ මගින් ප්‍රෙක්‍ෂකයා පලමුව ඇද බැඳ තබා දෙවැනුව ඡායාරූපයේ අභ්‍යන්තරය වෙත ගෙනයනු දැකිය හැකිය.
by Andy Kämpf
 
from internet

from internet

from internet

ඔබ ඈත සඳ වී පායා..

විශාරද බණ්ඩාර අතාවුද නම් විශිෂ්ඨ ගායකයෙකුගේ හඬින් ගැයෙන මනරම් ගීතයක් තමයි අද ලියන්න හිතුවේ. ගීතයේ පද රචනය ජයලත් මනෝරත්නයන් අතින්. ගීත ගොන්නක් නොලීව පුද්ලගයෙක් වුනත් ලියැවුන මේ ගීතයේ අපූර්ව බව කිය යුතුමය. ගීතයේ සංගීතයද ඒ අපූර්වත්වය වැඩි කරනවා. ගීතය පටන් ගන්නේ අපූර්ව සංගීත ඛණ්ඩයකින්. ඒ සංගීතය අපිව ගීතයේ පද අතර අතරමං කරන්න සමත් වෙනවා කියලයි හිතන්නේ. 

ඔබ ඈත සඳ වී පායා..
මම මෑත තරුවක පිපිලා..
මේ නිසල රැයේ ලොව නිදනා..
මා ඔබ ඔබ මා ළඟ ඉන්නා..

ගීතය පටන් ගන්නේ මේ විදිහටයි. ඔබ ඈත සඳක් විදිහට පායලා තියෙද්දී මම මෑත තරුවක පිපිලා. කෙතරම් ගීත ඇති ද සඳත් තරුත් ගැන ලි‍යවෙන හැමදාමත් සඳ තරුණියක සිහිපත් කරවනවා. අද ඔබ ඈතන් ඉන්නේ. බොහෝම ප්‍රභාෂ්වර විදිහට දිදුලමින්. නමුත් මම ගොඩක් ලඟින් එන්න කුඩා තාරකාවක්. ප්‍රමාණය විසින් තරුණිය තව තවත් සුන්දර බවත් ඇයගේ විශේෂත්වයත් ඉදිරියට ගේන්න සමත් වෙනවා. නමුත් මේ සියලු දේ වෙන්නේ මුලු ලෝකයක් නිදාගෙන ඉන්නාවූ බොහෝම නිහඬ නිසල රාත්‍රියක. නමුත් ඔබත් මමත් බොහේම ලඟනි ඉන්නේ. කොහොමද මේ ලඟින් ඉඳගෙනත් මේ තරම් දුරස් බවක් දැනෙන්නේ. 

අප දුරින් දුරක වුව තනියේ..
නෙත් සරින් පමණි හමුවූයේ..
ඒ ඈත් බවිනි හද අඳුරේ..
සෙනෙහසේ සොඳුරු බව පිරුනේ..

දැන් එකපාරටම අපිව අතීතයට ගෙනියනවා කියල හැඟීමත් එනවා. අපි බොහොම දුරක තනියම හිටි කාලයක්. ඒ කාලේ අපේ නෙත් විතරයි හමුවෙන්නේ. ඈතින් ඉඳගෙන බලනවා විතරයි. ඒ ඇස් වලින් කතා කරන සුන්දර අතිතයක්. නමුත් ඒ ඈත් බව නිසාම අපි හදවතින් හුඟක් බැඳිල හිටියා. ඒ නිසාම අපි අතර සොඳුරු ප්‍රේමයක් තිබුනා. ඇස් වලින් කතා කරන සමයේ විවිධ දේ නෙතුන් කතා කරනවා. ආදරය මුහුකුරා යන්නේ කාටත් නොදැනීම. ඒකාලේ ගැන සොඳුරු මතකයක් හිතපුරා යවද්දීම දැනෙන්නේ දැන් ඒක නෑ නේද කියන එක. පලමු පදය වත්මනටත් දෙවැනි කොටස අතීතයටත් ගෙනියන්නේ දැන් තිබෙන්නා වූ තත්වය හොඳින්ම පැහැදිලි කිරීමට විය යුතුය.

මධු සඳ තරුවද හමුවීලා..
සිටියද ඔබ මා ළංවීලා..
ඒ දුරක එදා අප පිපිලා..
තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා..

පෙම්වතුන් දෙදෙනා විවාහ වෙලා මංගල රාත්‍රියද ගතකරලයි ඉන්නේ. ඔබත් මමත් අද ගොඩක් ලංවෙලා ඉන්නවා. ඒ කාලේ දුකර ඉඳිද්දී අපි ප්‍රාර්ථනා කලේ මේ විිහට ලංවෙන්න නේද? නමුත් ඒ කාලේකොතරම් සතුටින් සිටියාද නමුත් අද ඒ ප්‍රේමයේ සොඳුරු බව නැති වෙලා ගිහින්. පිපිලා කියන බොහෝම නැවුම් සුන්දර දෙයක් විදිහට පෙන්වා දීලා තියෙන්නේ අපි කාටත් මලක් පිපෙනවා කියන එක සොඳුරු දෙයක් නිසාවෙන් විය යුතුය. ඒ එක්කම අද තියෙන කටුක බව පෙන්වන්න සිඳිලා කියන වචනය භාවිතය කෙතරම් අපූර්වද. සිඳුනු ගඟක ඇති කටුක බව වියලුණු පොළව හා මිය යන ගස්වැල් සියල්ල මතක් කරන ගමන් කෙතරම් අසරණ බවක් තියෙනවාද යන්න පෙන්වනවා කියලයි මට නම් හිතෙන්නේ. 

කොහොම වුනත් බණ්ඩාර අතවුදයන්ගේ ස්වරයේ තියෙන කනගාටු දායක ස්වරය හා අන්තරා කොටස් අතර ඇති සංගීත කණ්ඩයන් බොහෝම සියුම් විදිහට අපේ සිතිවිලි වලට තට්ටු කරනවා. දරක ඇති සියල්ල අපට ලංවුනාම බොහෝම කැතයි කියන දේ අපූර්ව විදිහට පෙන්වා දෙන ගීතයක් හැටියටත් මේ ගීතය දකින්න පුළුවන්. කොහෝම වුනත් අහල බලන්න බොහෝම නිසල වෙලාවක මේක අල බැලුවා නම් ඒ අපූර්වත්වය හොඳින් විඳින්න ලැබේවි. 



ඔබ ඈත සඳ වී පායා..
මම මෑත තරුවක පිපිලා..
මේ නිසල රැයේ ලොව නිදනා..
මා ඔබ ඔබ මා ළඟ ඉන්නා..

අප දුරින් දුරක වුව තනියේ..
නෙත් සරින් පමණි හමුවූයේ..
ඒ ඈත් බවිනි හද අඳුරේ..
සෙනෙහසේ සොඳුරු බව පිරුනේ..

මධු සඳ තරුවද හමුවීලා..
සිටියද ඔබ මා ළංවීලා..
ඒ දුරක එදා අප පිපිලා..
තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා..

ගායනය: විශාරද බන්ඩාර අතාවුද
සංගීතය : එච්. එම්. ජයවර්ධන
පද රචනය : ජයලත් මනෝරත්න