පෙම් කල වරදට

මෙය දයා ද අල්විස් විසින් රචිත චන්ද්‍රදාස බෝගොඩ සංගීතයෙන් හැඩකල ඉන්ද්‍රාණි බොගොඩ ශිල්පිනියගේ මියුරු කටහඬින් ගැයෙන අපූර්ව ගීතයකි. පවුලක නැගණියක හා අයිය කෙනෙක් ඉන්නවා නම් අනිවාර්ය වශයෙන් ඇති වෙන්නා වූ පවුල් ආරවුලක් තමා මේ ගීතයේ පදනම වෙන්නේ. සංගීතයේ උස් පහත් වීම් පවා මේ ගීතයේ කටහඩ එක්ක එකතු වෙලා ‍හැඟීම් ප්‍රභල කරනවා කියලත් මට හිතෙනවා. බොහෝම නිහඬ තැනක ඉඳගෙන මේ ගීතය අහනවා නම් ඒ දේ දැනේවි. පලවෙනි කොටස ගැයෙන්නේ මෙන්න මේ විදිහට.

පෙම් කල වරදට මට වද දෙන්නේ
පෙම් කල හිතකින් නොවන නිසා
අයියණ්ඩියෙ මට සමාව දෙනු මැන
ආදරයේ සුව දැනුනු දිනේ

නැගණිය වැඩිවිය පත්වෙලා ආදරයක් පටන් අරන්. නමුත් ඒ පෙම්වතා හොඳ හෝ නරක වේවා එයට අයියා සම්පූර්ණ වශයෙන් විරුද්ධ වෙලා තියෙනවා. ‍එතැනදී තමා පෙම්වතිය තමන්ගේ අයියට පොඩි නක්කලේකුත් දාන්නේ. ආදරය කලා කියල මට කරදර කරන්නේ අයිය ආදරය කරල නැති නිසා තමයි. නමුත් අයිය ආදරය කලා වෙන්නත් පුළුවන්. නංගී ඒ ගැන දන්නේ නෑ. නමුත් ආදරයට විරුද්ධත්වය ආවාම නංගීගේ දුක පිටවෙන්නේ එහෙමයි. මම ආදරේ කලා කියල අයිය බැන්නට අයිය ආදරය කල දවසට මට සමාව දෙන්න. මම මේ තරම් ‍ආදරය කල එකට. මෙතැන කාරණා කීපයක් මම දකිනවා. සමහර විට මේ පෙම්වතියට අයියා විතරක් වෙන්න පුළුවන්. පවුලේ බර ගෙනියන්නේ අයියා. පියා නැති නිසාවෙන්. අන්න ඒ නිසා තමයි ආරය වෙනුවෙන් මම මැරෙනවා නොකියා දුක ගැන අයියට කියන්නේ. අයියට තේරුම් කරවන්න හදන්නේ.

යන එන හමු වන මග අවුරාලා
ආදරයක් වැලකිය හැකිදෝ
නොපෙනෙද ඔහුගේ දෙපතුල මා හිත
සැනහෙනු මේ රැකවල් බිඳ දා

දැන් නම් අයිය නංගීව ගෙදරම තියල. කොහේවත් යන්න දෙන්නේ නෑ. පෙම්වතා හමුවෙන්නත් බැරිව ගෙදරම ඉන්න නංගී අයියගෙන් අහනවා මෙන්න මෙහෙම. ගෙයින් එලියට යන්න නොදී, මුණ ගැහෙන්න නොදී ආදරය වලක්වන්න පුළුවන්ද? පේන්නේ නැද්ද මේ තරම් රැකවල් දාල තිබුනා වුනත් මම එයාගේ දෙපතුල ලඟ ආදරයෙන් වැටිලා ඉන්නවා කියල. කොයි තරම් දේ කලත් ම‍ගේ හිතේ තියෙන ආදරය අයියට නැති කරන්න බෑ. මේ දේ කියන්නේ අයියට දුක හිතිලා වෙනසක් ඇති වෙයි කියල හිතලයි.

චිත්‍රාවක් වන්නේ නෑ මා නම්
අයියණ්ඩියෙ ඔබෙ අණට හොරා
ආදරයේ දුක ඔබට දැනේවී
පෙම්වතියක මුණ ගැහුණු දිනේ

අවසානයේ අපිව වෙනම මානයකට ගෙනියනවා. උන්මාද චිත්‍රා සහ ගාමිණී කුමරුවන්ගේ කතාව දන්නවා නම් එහි චිත්‍රා දේවිය එක්ටැම් ගෙයක සිර කර මුරකාවල් දා තිබුනා වුනත් ගාමිණී කුමරුවන් කෙසේ හෝ ඇය හා පෙමින් බැ‍‍ඳෙනවා. එක්ටැම් කුලුනේ ආරක්‍ෂකයින් හා එක්ව කෙසේ හෝ ගාමිණී කුමරුවන් එක්ටැම් ගෙදරට යනවා. අවසානය වෙන්නේ චිත්‍රා දේවිය ගැබ් ගැනීමයි. මෙතැන නැගණිය මතක් කරනවා සමාජයේ වෙන දේ මොකක්ද කියලත් සහ තමන් අයියාට තියෙන ආදරයත් පෙම්වතාට තියෙන ආදරය තරම්ම ලොකු බවත් පෙන්වනවා. මම චිත්‍රාවක් වෙන්නේ නෑ කියන එක තුල තමන්ගේ ‍පවුලට තියෙන ලැදිකම හා ආදරය කෙතරම්දැයි පෙන්වනවා. හැබැයි එහෙම නොගිහින් මගේ ආදරය මම කැප කරනවා. අයිය කවදාක හරි ආදරය කල දාට දැනේවි මම කොයි තරම් දුක් විඳිනවද කියල එක ගැන.

ආදරය හා ඒ ආදරය තහනම් වීමෙන් ලැබෙන ශෝකය අපූර්ව ලෙස ගායනාවෙද්දී ඒ කටහඬත් ඒ සංගීතයත් අපූර්ව අයුරින් ඒ ගීතය අසන කෙනෙකුට ඒ දේ දැනෙන්න සලස්වනවා.

____________________________________________________________________________________________
පෙම් කල වරදට

පෙම් කල වරදට මට වද දෙන්නේ
පෙම් කල හිතකින් නොවන නිසා
අයියණ්ඩියෙ මට සමාව දෙනු මැන
ආදරයේ සුව දැනුනු දිනේ

යන එන හමු වන මග අවුරාලා
ආදරයක් වැලකිය හැකිදෝ
නොපෙනෙද ඔහුගේ දෙපතුල මා හිත
සැනහෙනු මේ රැකවල් බිඳ දා

චිත්‍රාවක් වන්නේ නෑ මා නම්
අයියණ්ඩියෙ ඔබෙ අණට හොරා
ආදරයේ දුක ඔබට දැනේවී
පෙම්වතියක මුණ ගැහුණු දිනේ

පද: දයා ද අල්විස්
සංගීතය : චන්ද්‍රදාස බෝගොඩ
ගායනය : ඉන්ද්‍රාණි බෝගොඩ


No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!