බොල් වී අහුරු වෙල් හුළගේ ගිය සේම

අජන්තා රණසිංහ ලියූ අපූරු ගීතයක් මේ විදිහෙන් ගායනා වෙන්නේ අමරදේවයන්ගේ සුමධුර කටහඬින්. සරත් දසනායක සංගීතවත් කල ගීතය හරිම අපූරු වින්දනයකින් අහන්න පුළුවන්. ගැමි සුන්දරත්වයත් කොලු කුරුට්ටන්ගේ බාල කාලයත්, බිඳුණු ප්‍රේමයත්, එය මෙත් සිතින් විඳ දරා ගන්නා අයුරුත් මැනෙවින් ප්‍රකාශ වෙන්නේ බෞද්ධ දර්ශනයේ ඉගැන්වීම් මතක් කරවමිනි.

බොල් වී අහුරු...
වෙල් හුළගේ ගිය සේම
දිගෙක ගිහින්..
නුඹ මටවත් නොකියාම

බොල් වී කියන්නේ කිරි නොවැදුනු වී වලට. කරල පැහෙද්දී බොල් වී හිස්ව තියෙනවා. ඒ නිසා බරෙන් අඩුයි. සුලං හමද්දී බොල් වී බොහෝම ඉක්මනින් ගහගෙන යනවා. තරුණයාගේ ආදරය කල තරුණිය ඔහුටත් නොකියා විවාහ වෙලා. ඔහු ඇය හා ලබැඳියාවක් තියෙනවා. සිතින් ඔහු ඇයව ගොඩක් ආදරයෙන් තියන් ඉඳල තියෙන්නේ. ඒ නිසා ඇය ‍ඔහුට නොකියා ගිය එක ගැන කණගාටුවක් තියෙනවා. 

දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ
රංචුව ගැහුනු හැටි මතකද අපි බාලේ
මල්වර වියේ නුඹ ඉඳහිට දුටු වේලේ
බැරි උනි කියාගන්නට හිත බැඳි ආලේ

කජු පුහුලන් පැහෙනවා ඉදෙනවා මිස පියපන්නේ නැත. නමුත් ඇය හා තිබූ මිතුරුකම ගැන ඔහු පවසන්නේ එලෙසිනි. කජු පුහුලම් පිපෙන කාලයේ වුවත් පිපෙන මලක් වැනි සුවඳක් තිබුන මිතුරුකමක් ඔවුනට තිබුන බව පේනවා. ඒ කාලේ ගමේ අය එක්ක අපි එකතු වෙතා සෙල්ලම් කලා මතකද අහන්නේ මිතුරු කමේ අතීතය පෙන්වන්න. කුඩා කල සිට ඇයව දන්නා බව පෙන්වන්න. නමුත් දැන් ඇය තරුණියක්. වැඩිවිය පත්වුනාට පස්සේ ඔබව දකින්න ලැබුනේ නෑ. මෙතැනදී සිංහල සංස්කෘතිය එලියට එනවා. වැඩිවිය පත් වුන තරුණියක් තරුණයන් සමඟ සෙල්ලම් කරන්න යන්නේ නෑ. වෙනදා වගේ ඇය හමුවෙන්න බෑ. ඒ විතරක් නෙවි. වැඩිවිය පත් වූ තරුනියක් සමඟ වෙනදා ඇඟෑලුමින් කතා කරන්න තරුණයන්ට බෑ. පොඩි චකිතයක් තියෙනවා. ඒ අපේ සංස්කෘතියේ තිබුන සභ්‍යත්වය. ඒ නිසාම මට මගේ ආදරය කියාගන්න බැරිවුනා. මුලින්ම කියන හිතේ තිබුන ආලයක් කියන දේ මෙතැනදී පිළිබිඹු වෙනවා. ඒක පාර්ශවික ආලයක් වෙන්න පුළුවන්. නමුත් ඇය හොඳ මිතුරියක්ව ඉඳල තියෙනවා.

නෑ තුන් හිතකවත් අමනාපයක්‌ නගේ
මේ අපි පෙර ජාතියේ පැතු ලෙසයි නගේ
පිටගං ගොහින් මා අමතක උනත් නගේ
අතමිට සරුව නුඹ යහතින් ඉඳින් නගේ

යමක් කරද්දී ආරම්භය, කරන අතරතුර හා අවසානයේදී සිතේ එක එක සිතිවිලි මැවෙනවා. දුක සතුට වගේ දේවල්. මේ අවස්ථා තුට අපි කියනවා තුන්සිත කියල. මම එදා ඉඳන් මේ වෙනකම්ම ඔබ එක්ක අමනාපයක් නෑ. ඔබ මාව දාල ගියත් මම වෛර කරන්නේ නෑ. මගේ ආදරය එහෙමයි. මේ අපි ලබා උපන්න හැටි. අපිට සසරේ පතාපු විදිහ මේ තමයි. ඔබ මට ලැබෙන්න තරම් මම පින් කරල නෑ. ඔබ වෙනෙකෙකු එක්ක ගිහින් මාව අමතක වෙලා ඇති. එහෙම වුනත් ඔබට අඩුවක් පාඩුවක් වෙන්න එපා කියල ප්‍රාර්ථනාවක් කරනවා. සංස්කෘතිය එක්ක බෞද්ධ දර්ශනය එලියට එනවා. ඇය ඔහුට නැතත් මෛත්‍රී වඩනවා. ඇය සිටින තැනක සතුටින් ඉන්න කියලා. 

අද අපිට දකින්න අහන්න ලැබෙන ආදරය නිසා සියදිවි නසාගන්නවා වෙනුවට මේ ගීතයෙන් ලබා දෙන පණිවිඩය කෙබඳුදැයි සිතීම ඔබට බාරයි. සංස්කෘතිය, බෞද්ධ ආකල්ප සමඟ දුක වේදනාව ඉවසා ගන්න ලැබෙන ශක්තිය පිලිබඳ තවත් මොන උදාහරණද?
 
බොල් වී අහුරු...
වෙල් හුළගේ ගිය සේම
දිගෙක ගිහින්..
නුඹ මටවත් නොකියාම
දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ
රංචුව ගැහුනු හැටි මතකද අපි බාලේ
මල්වර වියේ නුඹ ඉඳහිට දුටු වේලේ
බැරි උනි කියාගන්නට හිත බැඳි ආලේ
බොල් වී අහුරු..
නෑ තුන් හිතකවත් අමනාපයක්‌ නගේ
මේ අපි පෙර ජාතියේ පැතු ලෙසයි නගේ
පිටගං ගොහින් මා අමතක උනත් නගේ
අතමිට සරුව නුඹ යහතින් ඉඳින් නගේ
බොල් වී අහුරු..


ගායනය : පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව
පද රචනය : අජන්තා රණසිංහ
සංගීතය : සරත් දසනායක

No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!