සඳකැන් වැටිලා අඳුරේ එතිලා


ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ විශිෂ්ඨ පද රචකයාගේ ගීත අප හට සැමදා විඳිය හැක ගීත බව නොරහසකි. එයට හේතු වන්නේ ඔහුගේ බොහෝ ගීත සිය ජීවිතයේ ඇසූ පිරූ ‍දේ වලින් ලියැවෙන නිසාම විය යුතුය. මෙයද එසේ ලියැවුන පද වැලකි. වික්ටර් රත්නායකයන්ගේ සංගීතයෙන් හා මධුර කටහඬින් ගායනා වෙන ගීතයේ කතාව මට දැනෙන්නේ මේ ලෙසිනි.

විවාහක යුවලකගේ ජීවිතයට තුන්වැන්නෙක්ගේ ඇතුලු වීම නිසා ඒ විවාහ ජීවිතය බි‍ඳෙන ආකාරය අපූර්ව ආකාරයෙන් විස්තර කෙරෙන ගීතයක පලමු පද වැල ලියැවෙන්නේ මෙන්න මෙහෙමයි. 

සඳකැන් වැටිලා අඳුරේ එතිලා
ඝනදුරු රෑ තනිකම නෑ
සොයා එන්න ඝනදුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි

සඳ එලිය වැටුනා වුනත් අඳුරක ඒ සඳ එලිය නැති වෙලා ගිහින්. බිරිඳගේ ආදරය සම වෙන්නේ අන්න ඒ කියන සඳ එලියට. නමුත් ඇයගේ අනියම් පෙමක ඉව ස්වාමියාට දැනෙනවා. අන්න ඒ නිසා ඒ ආදරය අඳුරක අතරමං වෙලා කියල දැනෙනවා. ඒ ඝනඳුර තිබුනා වුනත් අද තනිකමක් නෑ. අතීත මතක හා අන් අය ලඟ සිටින නිසා තමන්ට තනිකමක් නොදැනෙනවා කියල කියනවා. නමුත් ඒතැන තිබෙන්නේ දුක දරාගෙන තනිකමට හුරුවෙන්නම් කියන ව්‍යංගාර්ථයක් යැය සිතන්න පුළුවන්. අන් අයත් නැතිව තනිකම විතරක් තමන්ට ඇති. මට තියෙන එකම ආලෝකය වෙන්නේ ඔබ, ඔබේ ආදරය පමණයි. ඒ නැතිව ලැබෙන අන් දේ වලින් වැඩක් නෑ.

ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙලෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ

මගේ ජීවිතේ තියෙන එකම සුවය ඔබ. විවාහක සැමියෙකුට තියෙන එකම සුවය බිරිඳ නොවන්නේද? ආදරය කරුණාව සියලු දේ විස‍ඳෙන්නේ ඇයගේ ආදරය ඉදිරියේ නොවන්නේද? නමුත් මෙය උදුරගන්න තවකෙක් ඇවිත්. ඒ පැමිණීම ගැන කිසිම හොුඩුවාවව්ක තිබුනේ නෑ. හී සරයක් තරම් වේගයෙන් ඇවිත් ඇයව අරගෙන ගිහින්. ඇගේ ආදරය මගෙන් අරගෙන ගිහින්. මේ ලෝක මට තියෙන හොඳම වස්තුව වෙන ඔබේ ඇස් දෙක දැන් මම වෙනුවට අසල්වාසියෙකු වෙනුවෙන් බලා සිටිනවා. ‍මෙතැනදීත් අනියම් පෙම ගැන අපූර්ව ආකාරයෙන් මතක් කර දෙනවා විතරක් නොවයි ඔහු අසල්වාසියෙකු බවත් කියවෙනවා. තමා රැකියාවට ගොස් එනතුරු තනියම ඉන්න බිරිඳක් අසල්වාසියෙකු හා පෙමින් බැ‍ඳී ඇති අයුර පද පෙල හතරකින් අපූර්ව ආකාරයෙන් ඉදිරිපත් වෙනවා.

මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා......//
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා

පැරණි ගීත රචකයන්ගේ සංස්කෘතිය හා සභ්‍යත්වය රැකෙන අයුරින් ගීත ලිවීම නැවතත් මතක් කර දෙන්න මේ ගීතය සමත් වෙනවා. මම අනිත් අයගේ හිත් බිඳලා නෑ. ඒ නිසා දෑත් බැඳගෙන ඔබේ ආසාවට ඉඩ දෙනවා. මේ ප්‍රේමවන්තයා රන්ඩු කරන්නේ නෑ. ඇයගේ ආදරය තමන් කෙරේ නැතිනම් රන්ඩුවෙන් පල නෑ. මම කාගෙවත් හිත් බිඳල නෑ. ඒ නිසා මට වරදක් වෙන්නේ නෑ. කර්මයට සියල්ල බාරදෙන ගමන් සැමියා සිතනවා. දවසක අපි වෙන්වෙනවා. අන්න එදාට මේ අනියම් පෙම ගැන කතාව නොකියා ඉමු. දික්කසාදයක් ගැන කියවෙනවා වෙනුවට මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු කියන එකේ අදහස මට හැ‍ඟෙන්නේ නම් දවසක මියයන බවයි. ඒ අද හෙට නම් නෙවෙයි. ඔබේ ප්‍රේමය ඔබේ අයුරින් රහසක් විදිහටම තියා ගන්න නමුත් දවසක අපි වෙන්වෙනවා. අන්න එදාට මේ රහස ලෝකයට එලි වෙන්න නොදී තියන්න. සැමියා තවමත් සූදානම් නෑ බිරිඳට අවමානයක් ඇති කරන්න. ඒ නිසා තමයි අනියම් පෙමට ඉඩ දීල අත් බැඳගෙන ඉන්නේ.

විවාහක යුවලකගේ ජීවිතයක බිරිඳගේ අනියම් පෙම ගැන දැනගන්න සැමියෙක් එහි දුක දොම්නස අපූර්ව අයුරින් සිංහල සංස්කෘතිය හා බෞද්ධ දර්ශනයේ ඉගැන්වීම් එක්කම විඳදරා ගන්න අයුරු ලියවුන ගීතයක් විදිහට මම මේ ගීතය දකිනවා. 

සඳකැන් වැටිලා අඳුරේ එතිලා
ඝනදුරු රෑ තනිකම නෑ
සොයා එන්න ඝනදුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි...//

ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙලෙනු පෙනේ.....//
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ

සඳකැන් වැටිලා ......

මා නැත අන්සතු සිත් නිවලා
දෑතම බැඳගෙන හිඳිමි බලා......//
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා

සඳකැන් වැටිලා....

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : වික්ටර් රත්නායක

No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!