විනේ කටින උන්...

වසන්ත පුෂ්පකුමාර අතින් පද්‍ය පන්තියක් ලෙසින් ලියැවෙන මෙය ගීතයක් ලෙසින් හැඩවන්නේ රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙනි. ප්‍රදීපා ධර්මදාස ගේ මයුර කටහඬින් ගැයෙන ගීතය අද සමාජය පිලිබඳ කතාවක් පවසයි. අද ලියැවෙන්නේ ඒ කතාන්දරයයි.

විනේ කටින උන් තරහක් නොකියාම
කනේ කොහොඹ මිරිකනවා හැමදාම 
ගුණේ රැකන් ඉන්නලු මළ හිමිගේම
වණේ නැතිව උන් දුක දන්නේකොහොම

කතාන්දරයේ කතා නායිකාව වන්නේ සැමියා මියගිය බිරිඳකි. පෙර සමාජයේ තිබූ අයුරින් විවාහයෙන් පසු වෙනමම නිවසක පදිංචි ව සිටි සැමියෙකු හා බිරිඳකි. එසේ නැවතුනේ නම් කරුණක් පැහැදිලිය. එ නම් සිය පවුල් වල පිරිස් සමඟ එක්ව විසීමට අපහසු බවයි. සැමියා මියගිය පසු බිරිඳට උපදෙස් අවවාද දෙන්නේ ඒ කියන්නා වූ ඥාතීන්මය. ඒ නිසා තමයි විනේ කටින උන් ලෙසින් ඔවුන් හඳුන්වා දී ඇත්තේ. උන් තරහ නොපෙන්වා තමන්ට උපදෙස් දෙනවා. නමුත් උපදෙස් සියල්ල කොහොඹ මෙන් තිත්ත ය. කණේ කොහොඹ මිරිකනවා යනුවෙන් දක්වා ඇත්තේ ඔවුන් දෙන උපදෙස් කිසිවක් සාරථක නොවන්නා වුවත් ඒ අමිහිරි බව නෙදෙැනෙනා අයුරින් තමන් සමඟ කතා බහ කරමින් ඉන්න බවයි. ඔවුන් සියල්ල පවසන්නේ මිය ගිය සැමියාගේ ගෞරවය රැකගන්නා ලෙස වුවත් කුඩා දරුවන් සිටින තරුණ බිරිඳක ජීවිතය ගෙවන්නේ කොහොමද කියල නොදන්න අය ඒ ගැන උපදෙස් දෙන අයුර ඔවුන් කොහොම කියන්නදැයි අසන්නේය.

ගමේ ගැටව් කරබාගෙන උන්නාට
විසේ නැග්ග නාකිත් පිල උඩ රෑට
නෙලා ගනින් යැයි කප් රුක පිදුවාට
ඉනේ රෙද්දමයි හිටියේ හරහාට

පිට ගමක ඉන්න සැමියා මියගිය තරුණ කාන්තාවක් ගැන සිතිවිලි පහල වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ගමේ තරුණයන් ඒ වුවත් ඇයට ලං වෙන්න උත්සාහ කරන්නේ නෑ. එයට හේතු වෙන්නේ ඇය ගැන ඔව්න් නොදන්නා නිසා ඇය කොහෙම කෙනෙක්දැයි ඔවුන් නොදන්නා නිසා විය හැකිය. නමුත් තලතුනා අය රෑ වෙද්දී තමන් වෙත ඇදී එන්නේ යැයි සඳහනකි. මෙය සමාජයේ ක්‍රමය අපූරුවට විදාහ දක්වනවා යැයි මා සිතමි. විසේ නැග්ග උන් ලෙස හැඳින්වෙන්නේ තලතුනා විවාහක උදවිය විය යුතුය. ඔවුන් ලැජ්ජා නැතිව මා සොයා එන බව අපහාසාත්මක ලෙසින්ම සඳහන් කර ඇත. ඔවුන් මුදල් දී ඇය හා යහන් ගතවීමට තැත් කලා වුනත් තමන්ගේ ගමේ තියෙන ගෞරවය තාමත් රුඳී තියෙන බව ඇය පවසනවා. නමුත් ඒ ඉනේ රෙද්ද වාසනාවට තියෙන දෙයක් විදිහට ඇය දකින්නේ නැහැ. එයට හේතුව වන්නේ ඇයට ඇති මුදල් අඟ හිඟකම්ය. ඉනේ රෙද්ද නොතිබුනා නම් තමන් වෙනුවෙන් කප්රුකක් නොතිබෙනවා ම නොවෙයි.

ලැමේ කිරට මොර ගහනා පැටියන්ට
අනේ කවුද ඉන්නේ වේලක් දෙන්න
ලිපේ ගින්න තුන් වරුවේ අවුලන්ට
වරෙව් මහතුනේ කුණුකය වලඳන්න

අවසානයේ ඇය තමන්ගේ කිරි දරුවන් මතක් කරමින් තැවෙයි. දරුවන් කිරි ඉල්ලා හඬද්දී තමන්ට කන්න වේලක් නැතිව දරුවන්ට දෙන්නවත් කිරි එරෙන්නේ නැති තරම්වේ. තමන් පාරේ යද්දී කෙල හලනා උන් දහසක් හිටියත් මේ දුක්ඛිත තත්ත්වය දැනත් ‍එක වේලක් කෑම දෙන්න තරම් කෙනෙක් කොහේවත් සිටියේ නැහැ. සමාජයේ අනේ අපොයි කියන්න ඉන්න අය ඇත්තටම උදව් කරනවාද නැද්ද කියන එක අපූර්ව ආකාරයෙන් සඳහන් වෙනවා මෙතැනදී. දැන් ඇයට කල හැකි දෙයක් නැහැ. කන්න බොන්න නැතිව, දරුවන් කෑම නැතිව අඬද්දී තමන්ගේ ආර්ථිකය නැති වෙද්දී මවකට කල හැකි අවසාන දේ ඇය කරන්න තීරණය කරනවා. ඒ තමයි ගණිකා වෘත්තිය තෝරා ගන්න එක. තමන් වෙනුවෙන් මිනිස්සු එනවා නම් ඇයි එය මුදල් කරගන්නේ නැත්තේ කියල ඇයට හිතෙන්නේ තමන්ගේ අගහිඟකම් නිසාමයි. අන්න ඒ නිසා තමයි ඇය කියන්නේ වරෙව් මහතුනේ කුණුකය වලඳන්න කියල. මොකද දැන් මේ ඇඟ මැරිල තියෙන්නේ. සමාජයෙන් එන ගැරහිලි, ණය බර වගේ දේවල් නිසාවෙන්. ඒ නිසා ඇවිත් මේක කාල දාපියව් කියල සමාජයට ගැරහුමක් සමඟ සාපකාරිව ඒ දිහා බලන්න ඇය පුරුදු වෙනවා.

සමාජයේ විදිහ ගැන අපූර්වත්වයක් තියෙන මේ ගීතය නිදහසේ අහන්න කියල ඔයාලටත් ආරාධනා කරනවා. දැනුන දෙයක් තිබුනානම් කොමෙන්ටුවක් කොටාගෙනම යන්න.

******************************************************************************

විනේ කටින උන් තරහක් නොකියාම
කනේ කොහොඹ මිරිකනවා හැමදාම
ගුණේ රැකන් ඉන්නලු මල හිමිගේම
වණේ නැතිව උන් දුක දන්නේ කෝම

ගමේ ගැටව් කරබාගෙන උන්නාට
විසේ නැග්ග නාකිත් පිල උඩ රෑට
නෙලා ගනිමි යැයි කප් රුක පිදුවාට
ඉනේ රෙද්දමයි හිටියේ හරහාට

ලැමේ කිරට මොර ගහනා පැටියන්ට
අනේ කවුද ඉන්නේ වේලක් දෙන්න
ලිපේ ගින්න තුන් වරුවේ අවුලන්ට
වරෙව් මහතුනේ කුණුකය වලඳන්න

ගායනය - ප්‍රදීපා ධර්මදාස
පද රචනය - වසන්ත පුෂ්පකුමාර
තනුව - රෝහණ වීරසිංහ